Monday, January 1, 2018

ලක් දිවිතලේ අබරේ මහිමේ බලණු


උදු කුරහං තල හේනේ මල් පිපුණු.........
මෙනේරි අමු ඇල්කෙත් ඇත කිරි වැදුණු...
කුඹුරු පැසී අටු කොටු වල වි පිරුණු........
ලක් දිවිතලේ අබරේ මහිමේ බලණු.........

   එදා අපේ මුතුම් මිත්තන් වස විසෙන් තොර තම ගෙවත්තෙන්  දෛනික ආහාර සපයාගන්නා ලද අතර නිතරම තම අටු කොටු පිරී ඉතිරි තිබුණා. අපි අද තමන්ට අවශ්‍ය පලා වර්ග පවා ලබා ගන්නේ වෙළදපලෙන්. එදා අපේ තිබුණු කොරටුව දැන් නැහැ. කුස්සියේ තිබුණු දුම් මැස්ස අපෙන් දුරස්වෙලා. කුඹුරේ හැදෙන අලකොළ, කැලේ හැදෙන බටුකරවිල, ගල් තලාවල හැදෙන කටුඅල දැන් අපේ පරපුරට තිත්ත වෙලා. ඒවා අදුනන්නෙත් ඒවායේ ගුණයක් දන්නේවත් නැහැ. අපි දැන් අල ගෙඩියටයි පරිප්පු හොද්දටයි යට වෙලා..... අපේ මුතුන් මිත්තන් එදා වැව් පොකුණු වෙහෙර විහාර හැදුවේ නිවුඩු හාල්, කුරහන්, මෙනේරි, අල බතල, කක්කුං, සාරන, නිවිති කාලා. පෙනෙළ, බෙලි, රණවරා පොල්පලා බීලා.... පසුගිය 26 වෙනිදා මැදිරිගිරිය ප්‍රාදේශිය ලේකම් කාර්යාලිය ශ්‍රවණාගාරයේදී සමෘද්ධි නිලධාරින්, ග්‍රාම නිලධාරින් හා සංවර්ධණ නිලධාරින් අමතා මේ බව ප්‍රකාශ කරන ලද්දේ පොළොන්නරුව දිස්ත්‍රික් නියෝජ්‍ය කෘෂිකර්ම නිලධාරී කාර්යාලිය විෂයාණු බද්ධ නිලධාරී ( එළවළු පළතුරු ) අරුණ ශාන්ත මහතා විසිනි. 

   මැදිරිගිරිය ප්‍රාදේශිය ලේකම් තුමියගේ මගපෙන්වීමෙන් සැලසුම් අධ්‍යක්ෂක චම්මිකා රාමනායක මහත්මිගේ ප්‍රධානත්වයෙන් ආහාර සුරක්ෂිතතාවය හා  පෝෂණය පිළිබදව මෙම පුහුණු වැඩ මුළුව පැවුත්වුනු අතර, කාලයට උචිත ඉතා වටිනා වැඩමුළුවක් බව පැමිණි සියළු දෙනා ඉතා ඇගයිමකට ලක්කරන ලදි. දේශීය කවි පංති 03ක් කණ්ඩායම් 03කට ලබාදී ඒ තුලින් රංගන ඉදිරිපත් කිරිමද  කාගේත් සිත් ඇද ගත්හ.මෙම අවස්ථාවට විෂයාණු බද්ධ නිලධාරී ( කාන්තා කෘෂිකර්ම ව්‍යාප්ත ) රේණුකා නන්දනී මහත්මියද පැමිණි සිටි අතර අට්ටික්කා දළු සලාදයක වටිනාකම පෙන්වා දෙමින් එම මොහොතේ සියළු දෙනා එකතුව අට්ටික්කා දළු සලාදයේ රස බලන ලදි.

ඩි.එම්.පි.කේ. දිසානායක
සමෘද්ධි ගමන දිස්ත්‍රික් සංනිවේදක
පොළොන්නරුව

No comments:

Post a Comment