Friday, August 4, 2017

කැකුළු ළමා සමාජ ප්‍රතිසංවිධානය උදෙසා සමෘද්ධි නිලධාරීන්ට විශේෂ ප්‍රායෝගික වැඩ මුළුවක්


     “ළමයා යනු කුඩා මිනිසකු නොවේ.ඔහු ළමා ගති ඇත්තෙකි. ඒ නිසා ඔහුට ළමයෙකු ලෙස වැඩීමට හා ජීවත් වීමට ඉඩ කඩ ලබා දිය යුතුය” යනුවෙන් රූසෝ නම් දාර්ශනිකයා ළමයා පිළිබඳව කර ඇති ප්‍රකාශය අදට වඩාත් ගැලපෙන බව සිතෙන්නේ වර්තමාන ළමා පරපුර මුහුණ දී ඇති සංකීර්ණ ජීවන තත්ත්වයන් දෙස මනැසින් බලන විටය. ලංකාවේ පවතින නව අධ්‍යාපන ප්‍රවණතා සහ සමාජ තත්ත්වන් සැළකිල්ලට ගත් විට ළමුන් ඉතා බිය ජනක  ඛේදවාචකයකට මුහුණ දී ඇති බව පෙනී යයි. එය අද දවසේ රට මුහුණ දී ඇති අනේක විධ සමාජ ප්‍රශ්න වල නිජබිම වෙතැයි කවරෙක් හෝ සිතයි නම් එහි වරදක් ද නැත.


     මෙම තත්ත්වයන් අද දවසේ වැඩිහිටියන් ලෙස අවබෝධ කරගෙන හෙටට ඔබින දරු පරපුරක් රටට දායද කරලීමේ උදාරතර කාර්ය භාරය සමෘද්ධි කැකුළු ළමා සමාජ හරහා  ක්‍රියාවට නංවන්නට ගාල්ල දිස්ත්‍රික්කයේ කඩවත් සතර සහ හබරාදූව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල  විශේෂිත දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක්  පසු ගියදා දියත් කරන ලදි.

     මෙහිදී එම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වල සියළුම ග්‍රාම නිලධාරී වසම් වල සේවය කරන සමෘද්ධි සංවර්ධන නිලධාරීන් , සමෘද්ධි බැංකු කලාප සහකාර නිලධාරීන් සහ කළමණාකරැවන් ඇතුළු නිලධාරීන්ට එක් දින පුහුණු වැඩසටහන් දෙකක් කොට්ඨාස මට්ටමින් පවත්වන ලදි. මෙම වැඩසටහන් එකී සමෘද්ධි සමිති කළමණාකරුවන් විසින් සංවිධාන කර තිබූ අතර සම්පත් දායකත්වය දිස්ත්‍රික් සමෘද්ධි කාර්යාලයේ විෂය භාර නිලධාරීන් විසින් ලබා දෙන ලදි. ගම්  මට්ටමින් පවතින සමෘද්ධි කැකුළු ළමා සමාජ ප්‍රති සංවිධානය කරමින් සාර්ථක ළමා සමාජයක් ක්‍රියාශීලීත්වයෙන් යුතුව පවත්වා ගෙන යාමටත්, දැනුම කුසලතා ආකල්ප සංවර්ධනය කරන ස්ථානයක් බවට ළමා සමාජය පත් කර ගත යුතු ආකාරයත්, ඒ සඳහා සමෘද්ධි නිලධාරීන්ගේ කාර්ය භාරයත් ප්‍රායෝගිකව ක්‍රියාකාරකම් ද සහිතව වැඩ මුළුවට ඇතුලත් කර තිබෙන අයුරු දැක ගත හැකි විය.

     රට සංවර්ධනය කරා ගෙන යාමේදී අද දවසේ ළමා පරපුර නිවැරදිව ගොඩ නැංවීම සඳහා ඇප කැප වන බවටත්, දිස්ත්‍රික්කය තුළ ළමා සමාජ ප්‍රතිසංවිධානය කිරීමේ කාර්ය භාරයට බෙහෙවින් ඉවහල් වන වැඩසටහනක් බවටත්  වැඩසටහන් අවසානයේ එයට සහභාගී  වූ  නිලධාරීන් බොහෝ දෙනෙකු අදහස් දක්වමින් ප්‍රකාශ කරන ලදි.

ප්‍රියන්ත කුමාර කාරියවසම්.
විශේෂාංග සන්නිවේදන - ගමන

No comments:

Post a Comment