Wednesday, December 6, 2017

ඉටි රෙදි ඇහුරූ නිවසක ජීවත් වූ නියාගම අසරණ පවුලට හිසට සෙවනක්

    මාටම කියා නිවසක් නොමැති මොනතරම් අසරණ මිනිසුන් අප සමාජය තුල කොතරම් ඇතිද. එසේම අප සමාජය තුල සමහර පවුල් ජීවත්වන ආකාරය දුටුවිට ඕනෑම අයෙකුගේ හදවත් හඩා වැලපෙනු ඇත. එසේම මෙවන් පවුල් නගර ආශ්‍රිතව, දුටුවද ගම්බද එවන් තත්වයන් දක්නට ඇත්තේ බොහෝ කලාතුරකිනි. කලින් වගකිව යුතු කිසිවකුගේ නෙත නොගැටුණු එවන් පවුලක් නියාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මාරග්ගොඩ ග්‍රාම නිළධාරී වසමෙන් හමුවිය. 

   කිසිදු හව්හරනක් නොමැතිව තමාට කියා ඇති එකම ඉඩම් කොටසේ වහලට ඉටිරෙදි යොදා ගෙන එය වටා තවත් ඉටිරෙදි වලින් අසුරා ගෙන ජීවත්වූ මෙම කාන්තාවන් දෙදෙනා පිළිබද තොරතුරු දැනගත් සමෘද්ධි සංවර්ධන නිළධාරී කුමාරී වනිගසේකර මහත්මිය සමිති නිළධාරීන් සහ සාමාජිකයන් සමග එම ස්ථානයට පැමිණියාය. ඔවුන්ට අත් වී ඇති ඉරනම පිළිබද දැඩි කම්පාවක් ඇති වීමෙන් පසු ඔවුන්ට මැටි ගසා හෝ ඉතා ඉක්මනින් නිවසක් ඉදි කර දියයුතු බවට ඔවුන් සැම දෙන තීරනය කරන ලදි. ඒ අනුව නිවස ඉදිකිරීම ඉක්මනින් ඇරඹුනු අතර, එසේම ඉතා ඉක්මනින් එහි වැඩ අවසන් විය. නිවස කාන්තාවන් දෙපලට භාර දෙන දිනය උදාවිය. ඉතා චාම් උත්සවයක් සංවිධානය කල සමෘද්ධි සමිතිය මානම්පිට විහාරස්ථානයේ විහාරාධිකාරී තනමල්විල විනීත ස්වාමීන් වහන්සේ වඩම්මවා සෙත් පිරිත් සජ්ජායනා මධ්‍යයේ මෙම නිවස අසරන කාන්තාවන් දෙපලට භාර දෙන ලදි. 

    මෙවන් කටයුතු ඉටුකිරීමේදී සමෘද්ධි නිළධාරී තුමිය ඇතුලු සාමාජිකයන් කරන කැපවීම තමන් වහන්සේ ඉතා අගය කරන බවත් තව තවත් මෙවන් සමාජ සද්කාර්යයන් ඉටු කිරීමට තුනුරැවන්ගේ සරන ලැබේවා කියා ප්‍රාර්ථනා කරන බවටත් අනුශාෂනාවක් පවත්වමින් විනීත ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කර සිටියහ. 

     මූලස්ථාන කළමණාකාර ප්‍රියංකා කොඩිකාර මහත්මිය සහ සමාජ සංවර්ධන සහකාර දයාල් ප්‍රියන්ත මහතාද මෙහිදී අදහස් දක්වන ලදි. සමෘද්ධි සමිති සභාපති සෝම කැටිපෙආරච්චි මහත්මිය විසින් මේ සදහා සහයෝගය දැක්වූ සැමට සිය ස්තුතිය පුද කරන ලදි. අවසානයේදී මෙම දෙපලට මාස දෙකකට පමන අවශ්‍ය වියලි ආහාර ඇතුලු පාරිභෝගික භාණ්ඩ රැසක් පරිත්‍යාග කරන ලදි. ප්‍රදේශවාසීන් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

බී.එච්.ඒ. ප්‍රසන්න
සමෘද්ධි සන්නිවේදක
නියාගම

No comments:

Post a Comment