Friday, July 7, 2017

දුම්වැටි විරෝධී පාගමනක් කරන්දෙනියේදී

   මෙවර ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය හා දුම්වැටි විරෝධී දිනය නිමිත්තෙන් කරන්දෙනිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ 93c අගනකැටිය වසමේ සමෘද්ධි ප්‍රතිලාභීන් සහ අඩුආදායම්ලාභී ප්‍රජාවගේ උවමනාව මත සංවිධානය කරන ලද මත්ද්‍රව්‍ය විරෝධී පාගමනක් පසුගියදා පැවැත්විණි.

   කොස්වතුමානාන ශ්‍රී සුදර්ශනාරාම විහාරවාසී මහා සංඝරත්නයේ ආශිර්වාද ලබා ආරම්භ කරන ලද මෙම සාමකාමී පාගමනට විශාල පිරිසක් එක්ව සිටි අතර කුරුදුගහහැතැක්ම නගරය දක්වා පිරිස පා ගමනෙහි යෙදිණ.

   දුම්වැටි සහ මත්ද්‍රව්‍ය භාවිතයෙන් සිදුවන ආර්ථික, සමාජීය සහ ශාරීරික හානිය පිළිබඳව ජනතාව දැනුම්වත් වන උපදේශණාත්මක වැකි ඇතුළත් පුවරු ප්‍රදර්ශනය කරමින් එම වැකි හඩනගා කියමින් ගමන් කල පෙරහර සංවිධාන කටයුතු සදහා කරන්දෙනිය සහ ඇල්පිටිය පොළිස් ස්ථානාධිපතිවරුන් ඇතුළු නිලධාරීන්ගේ සහයද ලැබී තිබිණ.

   කරන්දෙනිය සමෘද්ධි සමාජ සංවර්ධන පදනමේ අනුග්‍රහය මත කරන්දෙනිය සමෘද්ධි කළමනාකරු ජී. පියතිස්ස සහ අගනකැටිය සමෘද්ධි නිලධාරී ආනන්ද ප්‍රියන්ත මහත්වරුන් විසින් පාගමන සංවිධානය කරන ලදි. ප්‍රදේශයේ දානපතියකු මෙන්ම ප්‍රකට ගොඩනැගිලි සැලසුම් ශිල්පී කේ. සුමනසිරි මහතා මෙම අවස්ථාවට පැමිණ කරන්දෙනිය දුම්වැටි විරෝධී කොඩි දින අරමුදල වෙත රු:6000/= ක පරිත්‍යාගයක් කරන ලද අතර එම මුදල අදාළ නිලධාරීන් විසින් භාර ගන්නා ලදි. 

එල්.පී. වසන්ත කුමාර
සමෘද්ධි සන්නිවේදක - කරන්දෙණිය

No comments:

Post a Comment