Thursday, October 12, 2017

ජාත්‍යන්තරය ජයගත් සමෘද්ධි නිලධාරියා


   ගාල්ල කඩවත්සතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ, පෙට්ටිගලවත්ත කලාපයේ මිණුවන්ගොඩ ග්‍රාම නිලධාරී වසමේ සමෘද්ධි සංවර්ධන නිලධාරි  ලෙස සේවය කරන ජී.එම්. අනිල් ද සිල්වා  තම ක්‍රිඩා කෞශල්ය තුලින් ජාත්‍යන්තර මලල ක්‍රිඩා පිටිය ජයගනිමින් ශ්‍රී ලංකා මාතාව පදක්කම්වලින් සරසන්නට සමත්ව ඇත.

   2017 සැප්තැම්බර් මස 24 සිට ඔක්තොම්බර් මස 04 දින දක්වා චීනයේ “හුවාගෝ” ක්‍රීඩාංගණයේ පැවති 20 වන ආසියානු ප්‍රවීණයන්ගේ මලල ක්‍රීඩා තරගාවලියේදී ඔහු සහභාගීවූ තුන්පිම්ම සහ දුරපැනීම යන තරගවලින් ලෝකඩ පදක්කම් 2ක් දිනාගනිමින් අප මාතෘභූමියට සුවිශාල ජයග්‍රහණ ලබාදෙන්නට කටයුතු කර ඇත.

   එපමණක් නොව මෙම සමෘද්ධි නිලධාරීයා 2016 වර්ෂයේ සිංගප්පූරුවේ “හබ්” ක්‍රීඩාංගණයේදී පැවති 19 වන ආසියානු ප්‍රවීණයන්ගේ මලල ක්‍රිඩා තරගාවලියේදී සහභාගීවූ තුන්පිම්ම තරගයෙන් රිදී පදක්කම දිනා ගනිමින් ඕස්ටෙිලියාවේ පැවති ලෝක ප්‍රවීණයන්ගේ මලල ක්‍රිඩා තරගාවලියට සුදුසුකම් ලැබීය.

   එමෙන්ම පසුගිය වර්ෂ කීපය තුලදීම පවත්වන ලද දකුණු පළාත් රාජ්‍ය සේවා ක්‍රිඩා තරගවලදී සහ සමස්ථ ලංකා රාජ්‍ය සේවා සහ ප්‍රවීණයන්ගේ මලල ක්‍රිඩා තරගවලදී තුන්පිම්ම, දුරපැනීම සහ හෙල්ල විසිකිරීම යන තරගවලින් රන්පදක්කම් සහ රිදී පදක්කම් දිනාගනිමින් ජයග්‍රහණ රැසක් අත්කර ගෙන ඇත.

   සැහැල්ලු පන්දු ක්‍රිකට්, පාපන්දු යන ක්‍රිඩාවලින්ද ඉහල දස්කම් දක්වන මොහු බැඩ්මින්ටන් පුහුණුකරුවෙකු ලෙසද කටයුතු කරයි. ගාල්ල කඩවත් සතර ක්‍රිඩා සමාජ බල මණ්ඩලයේ ගරු සභාපති ධූරය හොබවන අනිල් ද සිල්වා මහතා 1996 සිට 2001 දක්වා කාලය තුල ගාල්ල මහ නගර සභාවේ මන්ත්‍රීවරයෙක් ලෙසද විශාල සමාජ මෙහෙවරක් ඉටුකල සමාජ සේවකයෙකි.
සමෘද්ධි දෙපාර්තුමේන්තුවට පමණක් නොව සමස්ථ රාජ්‍ය සේවයටම සම්පතක් වී ශ්‍රී ලංකා මාතාව මලල ක්‍රීඩාව තුලින් ජාත්‍යන්තරය තුල ඔසවා තබන්නට දස්කම් දැක්වූ සමෘද්ධි සංවර්ධන නිලධාරි  ජී.එම්. අනිල්ද සිල්වා මහතාට  සමස්ථ සමෘද්ධි ප්‍රජාවගේම සුභ පැතුම් පිරිනමමු.

පී.එස්. දම්මික සෙනරත්
සමෘද්ධි සන්නිවේදක
ගාල්ල කඩවත්සතර

No comments:

Post a Comment