Wednesday, February 28, 2018

විශ්‍රාම ගිය නිළධාරිනියට උපහාර පිදේ


   නියාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මත්තක කලාපයේ සමෘද්ධි සංවර්ධන නිළධාරිනියක වශයෙන් සේවය කල එම්.එම්. නිමලාවතී මහත්මිය පසුගියදා පුරා වසර 22 සිය රාජකාරී ජීවිතයට සමුදුන්නාය. සිය රාජකාරී කාල සීමාව තුල විවිධ ග්‍රාම නිළධාරී වසම් ගණනාවක රාජකාරී කටයුතු වල නිරත විය. රාජකාරිය අකුරටම ඉටු කල නිළධාරිනියක් ලෙස ඇය සිය ප්‍රතිලාභීන්ගේද ගෞරවාදරයට පත්වූවාය. ඇයගේ එම විශ්‍රාම යාම නිමිත්තෙන් ඇයට උපහාර පිදීමේ උත්සවයක් පසුගියදා මත්තක සමෘද්ධි බැංකු ශාලා පරිශ්‍රයේදී සිදු කෙරුනේ සහෝදර නිළධාරීන්ගේ සංවිධායකත්වයෙනි. කළමනාකරුවන්, සමෘද්ධි නිළධාරීන්, ප්‍රජා මූල සංවිධාන සභාපතිවරුන් සහ ප්‍රතිලාභීන් රැසකගේ සහභාගිත්වයෙන් මෙම උත්සවය ඉතා සාර්ථකව සංවිධානය කර තිබුනි.

බී.එච්.ඒ. ප්‍රසන්න
සමෘද්ධි සන්නිවේදක
නියාගම

පුත්තලම සමෘද්ධි බැංකු මහ සභාව සහකාර ප්‍රාදේශිය ලේකම්ගේ ප්‍රධානත්වයෙන්


  2018 වසරට නව පාලක මණ්ඩලයක් තෝරා ගැනීම සදහා මහ සභා රැස්වීමක් පසුගියදා පුත්තලම සමෘද්ධි බැංකු රැස්වීම් ශාලාවේදී පැවැතිවිණි. බැංකුවට අයත් ප්‍රජාමුල සංවිධාන 36ක් නියෝජනය කරමින් නියෝජිතයින් මෙම අවස්ථාවට පැමිණ සිටි අතර පුත්තලම සහකාර ප්‍රාදේශීය ලේකම් එස්.පී. වීරසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් මෙහි වැඩ කටයුතු ආරම්භ විය.

  එහිදි 2018 වසර සදහා නව පාලක මණ්ඩලයක් තෝරාගත් අතර පුත්තලම නැගෙනහිර, සවීවපුර සමිතිය නියෝජනය කරමින් පැමිණි එස්. සිවරත්නම් මහතා නව සභාපති ලෙස පත්විය. දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ තුමන් නියෝජනය කරමින් බැංකු අධීක්ෂණ ඒකකයේ කළමණාකරු ඉන්දික අරුණලාල් මහතාද , බැංකු සමිති කළමණාකරු ඩී.එම්. ධර්මවීර මහතාද, පුත්තලම සමෘද්ධි බැංකු කලමණාකරු ඩබ්.එම්.එස්.කේ. වාසල මහත්මිය හා සියළුම සමෘද්ධි නිලධාරින්ද මෙම අවස්ථාවට සහභාගී විය.

චින්තන රත්නායක
ගමන සමෘද්ධි සන්නිවේදක
පුත්තලම.

Tuesday, February 27, 2018

මධ්‍යම කදුකරයේ ප්‍රධාන නගර සදහා පානිය ජලය බෙදා හැරිම සිමා කෙරේ


   මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශයේ පිහිටි නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොටගල හා හැටන් ප්‍රදේශවලට පානිය ජලය බෙදා හැරිම ඉදිරියේදි සිමා කිරිමට සිදුවන බවත්, ජලය බෙදා හරින අවස්ථාවන් වලදි අවශ්‍ය තරම් රැස්කර තබා ගන්නා ලෙස හා ජලය අරපිරිමැස්මෙන් පාවිච්චි කරන ලෙස ජාතික ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලයේ හැටන් කාර්යාලය නිවේදනය කරයි. ප්‍රදේශයට පවතින වියලි කාලගුණය හේතුවෙන් ජල උල්පත්වලින් ප්‍රමාණවත් තරම් ජලය නොලැබීම මෙය හේතුව බව ඔවුන් පවසයි.

චන්දන ජයවීර
සමෘද්ධි ගමන සන්නිවේදක
හැටන්

Sunday, February 25, 2018

සමෘද්ධි බැංකුවල 2018 වර්ෂයේ ලාභදායී ඉලක්කය මිලියන 2 ක් දක්වා ඉහළට......


  2016 සහ 2017 වර්ෂවලට අදාළව ගාල්ල  දිස්ත්‍රික්කයේ සමෘද්ධි බැංකු ඇගයීම සහ විශේෂ ප්‍රගති සමාලෝචන රැස්වීමක් පසුගියදා (23) ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී දෙපාර්තමේන්තුවේ ක්ෂුද්‍ර මූල්‍ය අංශයේ  අධ්‍යක්ෂ රංජිත් උදයසිරි මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

  මෙහිදී දිස්ත්‍රික්කයේ සමෘද්ධි බැංකු 68 ක් අතුරෙන් 2016 වර්ෂයේ සහ 2017 වර්ෂයේ අළුත් අවුරුදු ඉතුරුම් ප්‍රවර්ධන වැඩසටහන යටතේ ඉහළම දක්ෂතා පෙන්වන ලද සමෘද්ධි සංවර්ධන නිලධාරින් 24 දෙනෙකු ද (එක් වර්ෂයකට 12 දෙනා බැගින්) බැංකු ‍ශ්‍රේණි ගත කිරීමේ වැඩ පිළිවෙළ යටතේ A සහ B ශ්‍රේණියේ බැංකු අතරට තේරි පත්වූ බැංකු වල කළමනාකරුවන් ඇතුළු කාර්ය මණ්ඩලය ද ඇගයීම මෙහිදී සිදු කරන ලදි.

  මෙහිදී අදහස් දැක්වූ ක්ෂුද්‍ර මූල්‍ය අංශයේ අධ්‍යක්ෂ තුමන් 2016 වර්ෂයට සාපේක්ෂව දිස්ත්‍රික්කයේ බැංකු බොහෝමයක් සෑම අතකින්ම වර්ධනයක් පෙන්නුම් කරන බවත් 2017 වර්ෂයේ බැංකු සංගම්වල ලාභදායීත්වය අනුව සතුටු දායක මට්ටමක පවතින බවත් ප්‍රකාශ කරන ලදි. එසේම සමස්ත දිස්ත්‍රික්ක සලකා බැලීමේදී අපේක්ෂිත පරිසාධන මට්ටම් තිබුණ ද එක එකක්බැංකු සලකා බලන විට ජාතික මට්ටමෙන් අපේක්ෂිත මට්ටම් තැන්පතු , ණය , බොල් ණය , කල්පසු ණය සහ ලාභදායීත්වය යන අංශ වලින් ලගා කර ගැනීමට උත්සාහ ගත යුතු බවත් 2018 වර්ෂය තුළ සමස්ත බැංකු පද්ධතියෙන් 95% ක් ලාභදායී මට්ටමට ගෙන ඒමත් සහ එම බැංකු වල ලාභය අවම රු.මි.2 ඉක්මවීම අපේක්ෂා කරන බවත් වැඩි දුරටත් පවසන ලදි. මෙහිදී බද්දේගම . ඇල්පිටිය හා කරන්දෙණිය කොට්ඨාසවල ප්‍රගතිය පිළිබදව ඉතා සතුටු වන බවත් එම අත්දැකීම් අනෙකුත් කොට්ඨාස වලට බෙදා ගනිමින් එකම කණ්ඩායමක් ලෙස ඉදිරියට කටයුතු කළ යුතු බවත් පවසන ලදි. ඒ අනුව ජාතික තලයේ වැඩිම දස්කම් දන්වන නිලධාරීන්ට විදේශ සංචාර ලබා දීමට කටයුතු කරන බවත් පැවසීය.

  මෙහිදී වැඩසටහන් අරමුණු පැහැදිලි කර දිස්ත්‍රික් අධ්‍යක්ෂිකා ඩී.එස්. විතානගේ මැතිණිය පවසා සිටියේ 2018 වර්ෂයේදී පවුල් සවිබල ගැන්වීමේ වැඩසටහන යටතේ ගාල්ල දිස්ත්‍රික්කයට පවුල්  3827 ක ඉලක්කයක් ලැබී ඇති බවත් ඉදිරිය්දී බැංකු මට්ටමින් වසම් මට්ටමින් එම ඉලක්ක පවුල් හඳුනා ගනිමින් වැඩසටහන් ක්‍රියාත්මක කල යුතු  බවයි. එසේම මෙහිදී ව්‍යාපෘති කළමනාකුවන්ගේ කාර්ය භාරය ද පැහැදිලි කරන ලදි.

  දිස්ත්‍රික්කයේ සියළුම බැංකු , බැංකු සමිති කළමනාකරුවන් ද සියළුම මූලස්ථාන සහ ව්‍යාපෘති කළමනාකරුවන් ද දිස්ත්‍රික් කාර්යාලයේ කළමනාකරුවන් සහ නිලධාරීන්ද මෙම අවස්ථාවට සහභාගී වී සිටින ලදි.

ප්‍රියන්ත කුමාර කාරියවසම්
දිස්ත්‍රික් සමෘද්ධි සන්නිවේදක
ගාල්ල

Friday, February 23, 2018

සමෘද්ධි සුරක්ෂා රක්ෂණ වන්දි මුදල් ගෙවීම් කඩිනමින්


  ගෝනාපීනූවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අංක 60 සී වුඩ්ලන්වත්ත ග්‍රාම නිලධාරී වසමේ පදිංචිව සිටි සමෘද්ධි ප්‍රතිලාභී ඒ. කරුණාරත්න සිල්වා මහතා (59) හදිසි අනතුරකින් මිය යාමෙන් අනතුරුව එම මහතාට හිමි සමෘද්ධි සුරක්ෂා රක්ෂණ වන්දි මුදල් ගෙවීම මරණය සිදු වී පැය විසිහතරක් ඉක්ම යාමට පෙර ලබා දීමට ගෝනාපීනූවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමෘද්ධි සංවර්ධන අංශය විසින් කටයුතු කර ඇත.

   ගෝනාපීනූවල ප්‍රාදේශීය මහ ලේකම් එල්.එන්. පියුමලි ලියනගේ මහත්මියගේ හා සහකාර ප්‍රාදේශීය ලේකම් දුලානී ශෂිකලා ගුනසේන මහත්මියගේ උපදෙස් හා මග පෙන්වීම අනුව වසම භාර සමෘද්ධි සංවර්ධන නිලධාරී එච්.ඩබ්. උපුල් දයන්ත මහතාගේ පුර්ණ මැදිහත් විමෙන් හා විෂයභාර සමෘද්ධි සංවර්ධන නිලධාරීනී යූ.ජේ. ශ්‍රියානි මානෙල් මිය හා කලමණාකරුවනගේ කැපවීමෙන් රුපියල් පහලොස් දහසක් වටිනා චෙක් පත මිය ගිය ඒ.කරුණාරත්න සිල්වා මහතාගේ බිරිද වන එච්.එම්. ධර්මානි ද සිල්වා මහත්මියට ලබාදීමට කටයුතු කරන ලදි. චෙක්පත ලබාදීමේ අවස්ථාවට සමාජ සංවර්ධන සහකාර දුමින්ද විජේරත්න මහතා ඇතුළු නිලධාරීන් පිරිසක්ද සහභාගී විය.

ප්‍රභාත් නිශාන්ත
සමෘද්ධි සංනිවේදක
ගෝනාපීනූවල

වෙන්නප්පුව සමෘද්ධි බැංකුව නව පාලක මණ්ඩලයක් අතට


  වෙන්නප්පුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වෙන්නප්පුව සමෘද්ධි බැංකු සදහා 2018  වර්ෂය සදහා සක්‍රිය කොටස් කරැවන්ගේ  මහා සභා රැස්වීම  පසුගියදා (22) වෙන්නප්පුව   ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය  රැස්වීම් ශාලාවේදි කලමනාකරු සුජීව ලාල් මහතාගේ මුලිකත්වයෙන්  පැවැත්වූනි .   

  මෙහිදි  නව පාලක මණ්ඩලය සදහා නව පාලක මණ්ඩල සභාපති ඇතුලු සභිකයින් තෝරා ගැනිම  සිදුකරන ලදි.  මේ අවස්ථාව සදහා මුලස්ථාන කලමනාකරු කිර්ති මහතාද, අනුර හෙලසිරි රාජපක්ෂ   මහතාද  සහභාගි විය. මෙහි දැක්වෙන්නේ පත්වු  පාලක මණ්ඩලය සමුහ ඡයාරැපයකට පෙනි සිටි  අයුරැ ගමන කැමරා කාචයේ සටහන්වු ආකාරය

සි ප්‍රිති උදයසිරි ප්‍රනාන්දු
සමෘද්ධි ගමන සන්නිවේදක
වෙන්නප්පුව

ආදර්ශ ගම්මානයට නව ප්‍රජා ශාලාවක්


  බරාදූව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ උණවටුන  සමෘද්ධි කලාපයේ යද්දෙහිමුල්ල ග්‍රාම නිලධාරී වසම පසුගිය 2017 වසරේ ආදර්ශ ගම්මානයක් ලෙස තෝරා ගැනුණි. ඒ අනුව එම වසමේ අඩු ආදායම් ලාභීන්ගේ හා සහනාධාරලාභීන්ගේ ආදායම් උත්පාදන ව්‍යාපෘති දියුණු කිරීමට අවශ්‍ය සහය මෙන්ම උපකරණ ද ලබාදුනි. 

   ඒ වගේම යද්දෙහිමුල්ල ග්‍රාම නිලධාරී වසමට විශාල අඩුවක්ව පැවැති ප්‍රජා ශාලාවක් ඉදිකර විවෘත කිරීම 2018.02.22 සිදුවිය. මෙම ප්‍රජා ශාලාව ඉදිකිරීමේ මාර්ගෝපදේශයා වූයේ යද්දෙහිමුල්ල ග්‍රාම නිලධාරී වසමේ රාජකාරි කටයුතු කරන ප්‍රසාද් සේනක වේහැල්ල මහතාය. ඔහුගේ මගපෙන්වීම යටතේ ක්‍රියාත්මක වූ සමෘද්ධි සමිති සාමාජික සාමාජිකාවන්ගේ හා ගම්වාසී සියලු දෙනාගේ සහයෝගය මත රජයෙන් කිසිදු මුදලක් නොලබා රුපියල් ලක්ෂ 10 කට  ආසන්න වියදමක් දරමින් යද්දෙහිමුල්ල දංවල ප්‍රදේශයේ මෙම ප්‍රජා ශාලාව ඉදිකර අැත . ඒ අනුව මාස එකහමාරක් වැනි ඉතාම කෙටි කාලයක් තුළ මෙම ප්‍රජා ශාලාව ඉදිකර ජනසතු කිරීමට එම නිලධාරී වරයාට සමෘද්ධි සමිතියේ හා ගම්වාසී සියලු ප්‍රජාවගේ නොමයුරු සහයෝගය හා දායකත්වය ලැබුණු බව ප්‍රකාශ කර සිටියේය.
                         
   මෙම අවස්ථාවට සහභාගී වූ උණවටුන සමෘද්ධි බැංකු කලමණාකාරිනි ඉන්ද්‍රානි විජේසේකර මහත්මිය මෙම උත්සව සභාව අමතමින් කියා සිටියේ උණවටුන සමෘද්ධි බැංකු සංගමයේ වැඩිම තැන්පතු ප්‍රමාණයක් ලබාදෙන වසම මෙම යද්දෙහිමුල්ල ග්‍රාම නිලධාරී වසම බවත් මේ වනවිට රුපියල් කෝටි 2 ක ණය ප්‍රමාණයක් නිකුත් කර අැති බවත්ය. ඒ පිලිබඳව අැය එම නිලධාරියාට හා සමිති සාමාජික සාමාජිකාවන්ට තම ස්තූතියි ප්‍රකාශ කලාය.

   තවද 2017 වසරේ හබරාදූව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වැඩිම අවුරුදු ගනුදෙනු සඳහා තැන්පතු ඒකරාශී කල නිලධාරියා වශයෙන් ඔහු තේරී පත්වි අැති බවත් 2018.02.23 දින පැවැත්වෙන ගාල්ල දිස්ත්‍රික් සමෘද්ධි ප්‍රගති රැස්වීමේදි ඔහු ඒ වෙනුවෙන් අැගයීමට ලක්වන බවත් දන්නා සිටියාය.
                              
    මෙම උත්සව අවස්ථාවට අැමතූ යද්දෙහිමුල්ල සමෘද්ධි සංවර්ධන නිලධාරී ප්‍රසාද් සේනක වේහැල්ල මහතා පවසා සිටියේ ඔහුගේ ඉලක්කය වනුයේ 2020 දී තම වසමින් සමෘද්ධි සහනාධාර ලබන සියලු දෙනාගේ ආදායම් මට්ටම ඉහළ නංවා එම සහනාධාරයන් සියල්ල රජයට බවත් සහනාධාර නොලබන  පිරිසක් බිහිකිරීම බවය. 
     
    සමෘද්ධි සමිති සාමාජිකාවක් වන රංසි මැටිල්ඩා මහත්මිය පවසා සිටියේ මෙවැනි දිරිමත් හා නොසැලී ඉදිරියට ගමන් කරන මෙවන්  සමෘද්ධි නිලධාරියෙක් ඔවුන්ට සම්පතක් බවයි. එසේ නොවුණි නම් රුපියල් ලක්ෂ 10 කට ආසන්න මුදලකින් මෙවැනි අංග සම්පූර්ණ ප්‍රජා ශාලාවක් කෙටි කාලයක් තුළ දී  තම ප්‍රදේශයට ලබාගත නොහැකි බවයි.
          
   මෙම උත්සව අවස්ථාව සඳහා හබරාදූව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මූලස්ථාන කලමණාකාරු මොහාන් චිත්‍රලාල් මයා ,ව්‍යාපෘති කලමණාකාරුවන්වන M.k.ජයන්ත මයා T.W.G.W.කුමාර මයා ,උණවටුන සමෘද්ධි බැංකු කලමණාකාරිනි ඉන්ද්‍රානි විජේසේකර මිය ,සමෘද්ධි බැංකු සමිති කලමණාකාරු චන්ද්‍රවතී මිය හා සමෘද්ධි බැංකු කලමණාකාරුවන් හා සමෘද්ධි සංවර්ධන නිලධාරීන් සහභාගී විය

ඉන්දිරා ලක්මාලි
සමෘද්ධි සන්නිවේදක
හබරාදුව.

නව නිලධාරීන් ගමේ සේවයට


  වෙන්නප්පුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට නව සමෘද්ධි සංවර්ධන නිලධාරින් 18 දෙනෙකු  පසුගියදා (22 ) දින වෙන්නප්පුව ප්‍රාදේශීය ලේකම් තුමිය  යු .සුජීවා ප්‍රනාන්දු මහත්මිය අතින් පත්විම් ලිපි ලබාගන්නා ලදි.  එම නිලධාරින් වෙන්නප්පුව, බොරලැස්ස. නයිනමඩම, වයික්කාල යන සමෘද්ධි ප්‍රජාමූලය බැංකු හා කේෂ්ත්‍ර රාජකාරි සදහා අනුයුක්ත කොට ඇත. 

  මෙම අවස්ථාවට මුලස්ථාන කළමණාකරු කිර්ති මහතාද සහභාගි විය.  එම නව නිලධාරින් ප්‍රාදේශීය ලේකම්තුමිය සමග සමුහ ඡයාරැපයකට පෙනි සිටි ආකාරය ගමන කැමරා කාචයේ සටහන්වු ආකාරය.

ප්‍රි්ති උදයසිරි  ප්‍රනාන්දු
සමෘද්ධි ගමන සන්නිවේදක
වෙන්නප්පුව

Thursday, February 15, 2018

අභිමානය රටට ගෙනෙන දිඹුලාගල


    සේවාලාභි සංතෘප්තිය තුලින් විශිෂ්ඨත්වය කරා යන මනාදැක්මෙන් රජයේ ප්‍රතිපත්ති නීතිරීති හා රෙගුලාසි වලට අනුකූලව සම්පත් යොදා ගනිමින් කාර්යක්ෂමවත් සුහදශීලිවත් ඵලදායි ලෙසත් සේවා ලාභි අභිලාශයන් ඉටුකිරීම මෙහෙවරකර ගත් දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය උතුරු මැද පලාතේ පොලොන්නරු දිස්ත්‍රික්කයේ ඓතිහාසික වටිනාකමකින් යුත් දිඹුලාගල රජමහා විහාරයේ ආශිර්වාදය ලබමින් පිහිටා ඇත. ග්‍රාම නිලධාරිවසම් 56 කින් යුක්ත 80000 ක පමණ ජනගහනයකින් සමන්විත වැව් රාශියක අාධාරයෙන් වි ගොවිතැන ප්‍රධාන ජීවනෝපායකර ගත් රටට බත සපයන්නන්ගෙන් සමන්විත ඓතිහාසික දිඹුලාගල අහස්මාලිගාව  පෙනෙන නොපෙනෙනමානයේ වර්ග කිලෝමීටර 534 ක වපසරියකින් යුක්ත දිඹුලාගල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය පොලොන්නරු දිස්ත්‍රික්කයේ හද ගැස්මවන්නේය.

    ප්‍රධාන ජනකොට්ඨාශය සිංහල බෞද්ධ වන අතර කතෝලික හිංදු මුස්ලිම් ආදි ආගම් අදහන දෙමල හා මුස්ලිම් ජාතිකයන් සමග දුක සතුට ඛෙදා ගනිමින් මනා සහයෝගිතාවයකින් මෙහි වාසයකරන අතර බෞද්ධයන්ට පන්සල් හිනදූන්ට කෝවිල් මුස්ලිම් ජාතිකයින්ට පල්ලියක් වශයෙන් තම ආගම අදහන්නට දිඹුලාගල  ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ ඔවුනට ඉඩප්‍රස්ථාව සලසා ඇත.

    පෙරපාසල් අධ්‍යාපනයේ සිට ප්‍රාථමික පාසල් උසස්පෙල විශ්වවිද්‍යාල දක්වා අධ්‍යාපනය හදාරන දූ දරුවන් මෙන්ම උසස් අධ්‍යාපනය දක්වා නොයන දරුවන්හට වෘත්තීය අධ්‍යාපනය දක්වා ද අධ්‍යාපයනය හදාරන්නට සියලූු විෂය ක්ෂ්‍රේත්‍රක්ම ආවරනයවන ගුණාත්මක අධ්‍යාපන ක්‍රමවේදයක් ප්‍රාදේශිය ලේකම්කොට්ඨාශය තුල උද්දීපනය කර ඇත.

    ප්‍රධාන ජීවනෝපාය වී ගොවිතැනකර ගත් මෙම කලාපයේ වාරි ජලයෙන් පෝෂණය වී නිල්වන් පාටින් දිලෙන කෙත්යායවල් ප්‍රදේශයට ගෙන එන්නේ සුන්දරත්වයකි. වී ගොවිතැනට අමතරව ගොඩබෝග වගාවද මෙම වැසියන්ගේ තවත් අතුරු ජීවනෝපාය මාර්ගයකි. ග්‍රාම නිලධාරි, සංවර්ධන නිලධාරි හා කෘෂිකර්ම පර්යේෂණ නිලධාරිගේ සහයෝගයද ඇතිව සමෘද්ධි සංවර්ධන නිලධාරින් විසින් ගම් නියම් ගම්වල තම සේවා ලාභින්ගේ විවිධ වූ සංවර්ධනය උදෙසා කැප වී වැඩ කරන අතර නීල හරිත ගම්මාන වැඩසටහන යටතේ බඳනාගල සහ කළුකැලේ යන වසම් තුල විවිධ සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මකකර ඇත. කම්හල් කර්මාන්තය විසිතුරු මත්ස්‍ය වගාව, ගොඩබෝග වගාව, වෙලෙදාම, ඇදුම් මැසීම ආදි ස්වයං රුකියා විශාල ප්‍රමානයක් හදුන්වාදි ඒවා ක්‍රියාත්මකකර පුද්ගල සංවර්ධනය මෙන්ම ප්‍රදේශයේ සංවර්ධනයද ඉහල නැංවීමට කටයුතු කර ඇත. අඩුආදායම්ලාභි පවුල් සදහා සමෘද්ධි සහනාධාරය ඇතුළු විවිධ සහනාධාර ක්‍රම මගින් ආරක්ෂාව සලසා ඇති ඔවුන්ගේ නිවාස වැසිකිලි ආදිය සකස් කර ගැනීම සදහාද අධාර හා සහනදායි ණය වැඩසටහන් ක්‍රියාත්මක කර ඇත.

    ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ ප්‍රාදේශිය ලේකම් තුමිය ඇතුළු එහි නිලධාරි මණ්ඩලය හා ඊට අනුබද්ධිත සියළුම නිලධාරින්ගේ මූලික අභිලශය වන්නේ ප්‍රදේශයේ සියළු වැසියන් ආර්ථික, සාමාජීය, මානසික හා සංස්කෘතික යන අංශවලින් සවිබල ගැන්වීමයි. එම අභිලාශය සාක්ෂාත්කර ගැනීම වැඩි ඈතක නොවන අතර එදින දිඹුලාගල  ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය ශ්‍රි ලාංකීය අභිමානය වනු නොවනුමානය. මේ අභිලාශය මුදුන්පත් කර ගැනීම සදහා ප්‍රාදේශිය ලේකම් තුමිය ඇතුළු කාර්යාලීය සමස්ථ කාර්ය මණ්ඩලයත් සමෘද්ධි කළමණාකාර මහත්ම මහත්මීන් සහ සමෘද්ධි නිලධාරීන් මෙන්ම කේෂ්ත්‍ර ගත සියළු නිලධාරීන්ගෙන් ලැඛෙන සහයෝගය ඉතා අගය කොට සලකයි

එම් පි රංජනී ජයවර්ධන
සමෘද්ධි ගමන සංනිවේදක
දිඹුලාගල

Friday, February 9, 2018

සමෘද්ධි නිළධාරිනිය රාජකාරී දිවියට සමු දෙයි


   පුරා වසර විසි එකක් සමෘද්ධි සංවර්ධන නිළධාරිනියක වශයෙන් නියාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සේවය කල එම්.එම්. නිමලාවතී මහත්මිය අද දින  එනම් 2018.02.09 සිට සිය රාජකාරී දිවියෙන් විශ්‍රාම ගන්නීය. සිය සේවා කාලය තුල මත්තක සමෘද්ධි බැංකු වට අනුයුක්තව එහි වසම් ගණනාවක රාජකාරී කටයුතු ඉටු කර ඇත. එහි ඉතා දුශ්කර වසමක් වූ උස්බිම්ජනපදය මෙන්ම මත්තක, මාර්තුපිටිය සහ කිඹුලාවල යන වසම් වල දුප්පත් ජනතාව වෙනුවෙන් ඔවුන් ආර්ථික වශයෙන් ශක්තිමත් මෙහෙවරක් ඉටු කරන ලද නිළධාරිනියක් වූවාය. 

   රාජකාරියට ප්‍රමුඛතාවය ලබා දෙමින් ඇය ඉටු කල මෙහෙවර සදා අනුස්මරණීය වනු ඇත. මෙම කොට්ඨාශයේ සිටි සෑම ප්‍රාදේශීය ලේකම්වරුන් සමග මෙන්ම සියලු කළමණාකරුවන් සමග ද සිය රාජකාරී කටයුතු  ඉතා සුහදව ඉටුකිරීමට ඇය සමත්වූවාය. එසේම අනෙකුත් සහෝදර නිළධාරීන් සමගද රාජකාරී කටයුතු වලදී මෙන්ම පෞද්ගලික කටයුතු වලදීද ඇය කැපී පෙනෙන මෙහෙවරක් ඉටුකළාය. රාජකාරිය දේව කාරියටත් වඩා ඉහලින් සැලකු, එමෙන්ම සහෝදර නිළධාරීන්ට අවංක සොයුරියක් වූ ඇයගේ විශ්‍රාම යාම නියාගම කොට්ඨාශයට මහත් පාඩුවකි. එසේම නියාගම කොට්ඨාශයේ විශ්‍රාම යන ප්‍රථම නිළධාරිනිය ලෙස අප ඇයට සුවබර විශ්‍රාම දිවියකට සුභාසිංශන ගෙනෙන්නෙමු. 

  සමෘද්ධි සංවර්ධන නිළධාරී එම්.එම්. නිමලාවතී මහත්මියනි ඹබට සුභ උපන් දිනයක් වේවායි සමෘද්ධි ගමන පවුලේ සැම හා සහෝදර නිලධාරී සැම සුභ පැතුමි එක් කරමු.........

බී.එච්.ඒ. ප්‍රසන්න
සමෘද්ධි සනිනිවේදක
නියාගම

සමෘද්ධිලාභී පවුල්වල අළුත උපන් බිළිඳුන්ට සමෘද්ධියෙන් අළුත් තෑග්ගක්..............


   2018 වර්ෂයේ සමෘද්ධි වැඩසටහන හරහා ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත නවතම වැඩසටහන වන්නේ “සිඟිති ආසිරි” රුක්රෝපණ වැඩසටහනයි.

    මේ යටතේ 2017 වර්ෂය තුළදී සමෘද්ධිලාභී පවුල් වලට නව බිළිඳුන් එක් වූ සහ 2018 ජුනි 30 ට පෙර දරුවන් ඉපදීමට නියමිත පවුල් ඒකක සඳහා ආර්ථිකමය හා දැවමය වටිනාකමක සහිත පැල 25 ක් ලබා දීමට නියමිතය. කෙටි කලකින් ළුල දරන කොස් පොල් සහ අඹ පැල ආර්ථික වටිනාකමක් සහිත පැළ ලෙසත් , මහෝගනී සහ තේක්ක පැළ දැවමය වටිනාකමක් සහිත පැළ ලෙසත් එක් වර්ගයකින් පැළ 5 බැඟින් ලබා දීමට අපේක්ෂිතය.

   මෙම වැඩසටහන යටතේ එක් පවුල් ඒකකයන් සඳහා උපරිම රු.5000/= ක මුදලක් වෙන් කරනු ලබන අතර ඔවුන් සතු ඉඩකඩම්  වල ඉඩ ප්‍රමාණය සලකා බලා නියමිත හා අභිමත පැළ ලබා දීමට කටයුතු කරනු ඇත.

   මෙම වැඩසටහන සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල්  සුනිල් ජයන්ත නවරත්න මැතිතුමාගේ සංකල්පයක් අනුව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ සමාජ සංවර්ධන හා පරිසර අංශය විසින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. දිස්ත්‍රික් මට්ටමින් දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂවරුන්ගේ අධීක්ෂණයෙන් ඉදිරියේදී මෙම වැඩසටහන දිවයින පුරා දියත් කිරීමට නියමිතය.

ප්‍රියන්ත කුමාර කාරියවසම්.
දිස්ත්‍රික් සමෘද්ධි සන්නිවේදක

Thursday, February 8, 2018

පොලොන්නරැව දේශාභීමානයෙන් පිබිදේ


  පොළොන්නරුව දිස්ත්‍රික්කයේ  70 වෙනි  නිදහස් සැමරුම මෙවර අභිමානවත් ලෙස උත්සවත්ශ්‍රීයෙන් පැවැත්වූයේ පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් තුමාගේ ප්‍රධානත්වයෙන් පොළොන්නරුව රාජකීය ජාතික පාසැල් ක්‍රීඩාංගනයේදීය. 

   පොළොන්නරුව සියළු රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන සහසම්බන්දව පවත්වන ලද මෙම උත්සවයට බෞද්ධ හා අන්‍යාගමික නායකයින්ගේ සහභාගිත්වයෙන් ප්‍රධාන ආරාධිත අමුත්තා  වශයෙන් උතුරුමැද පලාත් ආණ්ඩුකාර ගරු පි.බි. දිසානායක මැතිතුමා සහභාගී වූ අතර පොලිස් යුධ හමුදා ප්‍රධානීන්ට අමතරව සියළු රාජ්‍ය රාජ්‍ය නොවන ආයතන ප්‍රධානීන් රාජ්‍ය නිළධාරීන් හා ප්‍රදේශවාසීන් විශාල ප්‍රමාණයක් සහභාගීවි සිටින ලදි. මෙම නිදහස් සැමරුමේ විශේෂත්වය වූයේ එදා දෙවන ලෝක යුද්ධයේදී අප දේශය මෙහෙයවමින් යුධ වැදුන යුධ හමුදා සෙබළුන්ද කැදවා තිබීමයි. 

   දේශාභිමානය  එක්කල ප්‍රදර්ශන රථ, නාට්‍ය මෙන්ම සරඹ සංදර්ශණ වලින් අලංකෘතව මනාව සංවිධානය කරතිබුණි. එදා ඉංග්‍රීසින්ට විරුද්ධව ඉංග්‍රීසි කොඩිය බිමදමා ජාතික මමත්වය පෙන්වමින් සිංහනාදයෙන් ලොවම මවිතකර අපේ සිංහ කොඩිය උඩුගුවන සිප ගැන්වූ වාරියපොල සුමංගල හිමියන් ඇතුළු විරුවන් අනුස්මරණය කරමින්  නිදහස් දින සැමරුම සදහා.... මැදිරිගිරිය ප්‍රාදේශිය ලේකම් සි.එම්. කරුණාරත්න මහත්මියගේ මගපෙන්වීමෙන් රාජ්‍ය සේවකයින් විසින් ඉදිරිපත්කල ප්‍රදර්ශණ රථය හා නාට්‍ය කණ්ඩායම දිස්ත්‍රික්කයෙන් පලමු ස්ථානයට පත්විය.  
   සමෘද්ධී ගමනටද මෙම 70 වෙනි නිදහස් සැමරුම මාධ්‍ය ආවරණය සදහා අවස්ථාව ලැබුණු අතර පලමු ස්ථානය දිනාගත් මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ප්‍රාදේශීය ලේකම් තුමිය සමග සමෘද්ධි ගමන කල මාධ්‍ය සාකච්ඡාවේදී එතුමි කියා සිටියේ..... මේ දිනාගත් දිනාගැනීම ගැන මට හරිම සතුටුයි. මම හිතන්නේ මේ පිලිබදව වැඩියෙන්ම සතුටු වන
   පුද්ගලයා මමයි. මෙහි විශේෂත්වය සියළුම කේෂ්ත්‍ර නියෝජනය කරමින් සාමූහිකත්ව උත්සාහයක එකමුතුකමේ  උසස්ම ප්‍රතිඵලයක නිර්මාණයක් බවත්, මෙම ඇගයිමට ලක්වීම සදාකල්ම රැකගැනීමට අපේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ සියළුම නිළධාරින් ඉදිරියටත් උත්සාහ කරන බව සදහන් කල අතර, වැඩිදුරටත් එතුමිය කියා සිටියේ.......පැමිණි කෙටි කාලය තුල විවිධ දක්ෂතා කුසලතා ඇති මාගේ නිළධාරින් හදුනාගත්තා ඒ දක්ෂතා ඔප්නන්වන්න මගෙන් රුකුලක් උනා. ඔවුන් තුල උත්සාහය තිබුණා ඔවුන්ට තිබුණේ මගක් පෙන්වමින් එකමුතුව යන්න නියාමනය කිරීම පමණයි. මේ සාමූහිකව ලබාගත් ජයග්‍රහණය මම ඉතාමත්ම අගය කරනවා. ප්‍රාදේශිය ලේකම් තුමිය එසේ කියමින් සමෘද්ධි ගමනද  සියළු දෙනාට හිතෛයිසීව දිගු ගමනක් යන්න ශක්තිය ලැබේවායි.... යනුවෙන් කීමටද අමතක කලේ නැත.

සටහන හා සේයා රූ
ඩි.එම්.පි.කේ.දිසානායක
සමෘද්ධි ගමන දිස්ත්‍රික් සංනිවේදක - පොළොන්නරුව

හෙළ විරුවන් සිහිකර මැදිරිගිරිය ප්‍රා.ලේ. කාර්යාලයෙන් පිංකම් රැසක්


    අද අපි භුක්ති විදින්නේ එදා රටේ නිදහස වෙනුවෙන් ඉංග්‍රීසීන්ට විරුද්ධව ජීවිත පරිත්‍යාගකල හෙළයන්ගේ ජීවන සුවදයි. අපිට කිසිදාක මේ හෙළයන් අමතක කරලා මේ හෙළ පොළවේ හුස්ම ගන්ඩ බැහැ. සාමණේරවරුන්, මහා සංඝයා වහන්සේලා චීවරය අත්හලේ...... ගොංගාලේ ගොඩ බංඩා, වීර පුරන් අප්පු, බූටෑවේරාල, කැප්පෙටිපොල නිලතල තානාන්තර පුද සත්කාර අත්හැර කඩු කිනිසි අතට ගත්තේ රාවනාගේ, ගැමුණුගේ උතුම් සිංහල ලේ තම නහරවල දුවන නිසාය.... එදා එවන් මිනිසුන් අද ද නැතුවා නොවේ.... තවත් පිරිසක් තානාන්තර පුද සත්තාර ලබමින් තම සුඛවිහරණය වෙනුවෙන්ම තමන්ගේම එවුන්ගේ ලේ උරා බිබී සුරසැප වින්දේ රටේ සුඛවිහරණය සදහාද නොවේ.....මෙවන් මිනිසුන්ද අද බොහෝ නැතුවාද නොවේ......


   මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් සී.එම්. කරුණාරත්න මහත්මියගේ මගපෙන්වීම හා මූලිකත්වයෙන් අතීත අභීත සෙන්පතීන් හෙළ විරුවන් සිහිකර පිංපෙත් පැමිණවීමේ උතුම් පුණ්‍යකර්මයක් පසුගිය 03 වෙනි දින ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය පරිශ්‍රෙය්දී සිදුකෙරිණ. සමස්ථ නිලධාරීන්ගේ සහයෝගයෙන් හා සහභාගිත්වයෙන් මැදිරිගිරිය විහාරගම පූජ්‍ය සිරිනන්ද හිමිපානන් වහන්සේ වැඩමකර කාලීන සුමදුර කවිබණ ධර්ම දේශණයක් පවත්වා හෙළයන් සිහිකර පිං අනුමෝදන් කරන ලදි.


   මෙම වැඩසටහන සෑම මසකම පුන්පොහෝ දිනකම සිදු කිරීමට සියළුදෙනා කතිකා කරගත් අතර ඒ සදහා සියළු දෙනාගේම සහයෝගය ලබාදෙන බව ඉතා සතුටින් ඔවුන් සදහන් කරන ලදි.
වජිරා දිසානායක
සමෘද්ධි ගමන සංනිවේදක - මැදිරිගිරිය
සේයා රූ - ඩි.එම්.පි.කේ.දිසානායක

මහවැලියෙන් සමෘද්ධි දිරිය මිනිසුන්ට අතහිත


   වැඩියෙන් පිං කරන්නේ යමක් කමක් තියෙන් මිනිසුන් ඒ උදවියට එතරම් ප්‍රශ්ණ ගැටළු නෑ. ඒනිසා ඒ් අයට පිං කරන්න පුලූවන්. එදා වේල ගැටගසාගෙන ජීවත්වෙන උදවියට ප්‍රශ්ණ වැඩියි පිං කරන්න වෙලාවක් නෑ. හිත නිතරම අවිවේකියි අපි මේ අයගේ අධ්‍යාත්මක සංවර්ධණය දියුණු කරමින් ඔහුන්ගේ ආදායම් උත්පාදන වැඩසටහන් වලට යන්න ඕනෑ. මහවැලි සංවර්ධන අධිකාරියේ  බිසෝපුර ඩි කලාපභාර නේවාසික ව්‍යාපාර කළමණාකරු ප්‍රසන්න ජයතිලක මහතා සමෘද්ධි ගමනට එසේ කියා සිටියේ  එතුමා සමග සමෘද්ධි ගමන නිරන්තර සම්බන්දකම් පවත්වන බැවින් 2018 වර්ෂයේ මහවැලියේ සංවර්ධන වැඩසටහන් රටටම කියන්න පමණක් නොව ඒ තුලින් ග්‍රාමීය ජනතාවටත් මහගු සේවාවක් සැලසීමේ අධිඨනින් හමුවූ අවස්ථාවේදීය.

   වැඩිදුරටත් අදහස් දැක්වූ නේවාසික ව්‍යාපාර කළමණාකාර මහතා 2018 වර්ෂයේදී බිසෝපුර ඩි කලාපය සංවර්ධන කටයුතු ආරම්භ කරමින් පවතින බවත් යටිතල පහසුකම් සදහා රුපියල් මිලියන 47 ක් වෙන්කර ඇති අතර මෙම වර්ෂයේදී ජීවනෝපාය සංවර්ධනය පහල මධ්‍යම හා ඉහල ආදායම් වශයෙන් කොටස් තුනකට වෙන්කර ඔවුන්ගේ විවිධවූ සංවර්ධන ක්‍රියාකාරකම් දැනට පවතින තත්වයෙන් ඉහලට ගෙන එ්මේ ප්‍රධාන ඉලක්කයේදී පලමුවෙන්ම ඔවුන්ගේ අධ්‍යාත්මක සංවර්ධනය ප්‍රධාන අරමුණ කොට ගෙන වැඩසටහන් ක්‍රියාත්මක කරන බවයි. සත්ව පාලනය විවිධ වෘත්තීය පුහුණු ගෙවතු සංවර්ධණය ප්‍රධාන කොට වැඩසටහන් ක්‍රියාත්මක කරන බව එතුමා අප සමග ප්‍රකාශකල අතර ආදර්ශ ගම්මානයක් ලෙස සමගිපුර ගම්මානය සංවර්ධනය කරන බවද වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදි.

   සමෘද්ධි වැඩසටහන තුල අඩු ආදායම්ලාභින් අප තුල රැදෙමින් සිටින අතර විවිධවූ කුසලතා දක්ෂතා සහිත උනන්දුව උත්සාහය මතින් ධනාත්මකව ඉදිරියට යන පිරිස් සිටින බවත් අප සමෘද්ධි දෙපාර්තමේන්තුවෙන් විවිධවූ ජීවනෝපාය සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කරන අතර ඒකාබද්ධ ග්‍රාම සංවර්ධන වැඩසටහන් තුලින් අප එකතුව ඔවුන්ට උදව්කල හැකින්ම් එම පිරිස් ඔවුන්ගේ ඉලක්ක සපුරා ගැනීම ඉතා ඵලදායකයි නේද ? අපටත් උදව් කරන්න බැරිද ? යන්න සමෘද්ධි ගමන ඇසීමේදී ව්‍යාපාර කළමණාකාර මහතා කියා සිටියේ නිදහසින් පසු මෙතෙක් ක්‍රියාත්මක වැඩසටහන් අපි සැවෝම එකතුව සහයෝගයෙන් කලානම් අද දුප්පතුන් කියලා ඉන්නේ යමක් කමක් කල නොහැකි සමාජයෙන් රැකබලා ගන්නා ඉතා සුළු පිරිසක්  අපගෙන් සේවාවන් බලාපොරොත්තුවෙන් ඉන්නා අයට අපි උදව් කරන්නම් අපිට එම අය හදුන්වා දෙන්න.  එතුමා ඉතා සතුටින් සමෘද්ධි ගමනට අවසන් වශයෙන් කියා සිටියේය. එතුමාට සමුදී අප නික්මුණේ අප තුල රැදී සිටින අපගේ සේවාලාභින් එතුමාට යොමු කිරීමේ බලාපොරොත්තුවෙනි.

සමෘද්ධි ගමන සමූහ
ඩි එම් පි කේ දිසානායක - පොළොන්නරුව දිස්ත්‍රික්
එම් පි වජිරා දිසානායක - මැදිරිගිරිය
 

Wednesday, February 7, 2018

70 වන ජාතික නිදහස් උළෙලට ඉමදුවෙන් පිරිත් පිංකමක්............


    ජාතික නිදහස් දින උළෙල වෙනුවෙන් රට පුරා විවිධ උත්සව සංවිධානය වන පවතින මොහොතක ඊට සමගාමීව ඉමදුව ප්‍රාදේශිය ලේකම් කාර්යාල පරිශ්‍රය තුල පරිත්‍යණ පිරිත් පිංකමක් සහ උදැසණ දානමය පිංකමක් සංවිධානය කර තිබුනා. ඉමදුව ප්‍රාදේශිය ලේකම් ලක්ෂමි කාන්ති මැතිණියගේ මග පෙන්විම යටතේ කාර්යාල නිලධාරින් සහ සියලු  ක්ෂේත්‍ර නිලධාරින්ගේ සහභාගිත්වයෙන් මෙම උතුම් සත්කාර්ය සංවිධානය වි තිබුනි.

   රටට ජාතියට සෙත්පැතිමත් මව්බිම වෙනුවෙන් සටන්කල අභීත රණවිරුවන් සිහිකිරිමත් අරමුණු කරමින් මෙම වැඩ සටහන පැවතිනි. කාර්යාල නිලධාරින් විසින් නිර්මාණය කරන ලද විච්ත්‍රඅවත් වු පිරිත් මංඩපය තුල සිට රැය පහන්වනතුරු පරිත්‍යාණ පිරිත් දේශණය පැවති අතර උදැසන සඝගත දක්ෂිණාවෙන් වැඩ සටහන නිමාවට පත්විය. ප්‍රාදේශිය ලේකම් ලේකම්තුමිය, සහකාර ප්‍රාදේශිය ලේකම්, ගණකාධිකාරි ඇතුළු කාර්යාල නිලධාරි විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි විය. 


නිශාන්ත සුදුසිංහ
සමෘද්ධි සන්නිවේදක
ඉමදුව

Tuesday, February 6, 2018

දෙමාපියන් අහිමි දරුවන්ට සමෘද්ධි බැංකුවෙන් දානයක්...................


   ජාතික නිදහස් දිනට සමගාමීව ගෝනාපීනූවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ආරච්චිකන්ද සමෘද්ධි බැංකුව හා කලාප කාර්යාලයේ නිලධාරීන් විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන දෙමාපියන් අහිමි දරුවන් සදහා ලබාදෙන්නාවූ දානමය පිංකම මෙවරත් හික්කඩුව, පතන බරණසූරීය ළමා නිවාසයේදී පැවැත්විනි.

   ගෝනාපීනූවල ප්‍රාදේශීය ලේකම් එල්.එන්. පියුමලී ලියනගේ මහත්මියගේ මගපෙන්වීම අනුව කලාප කළමණාකරු එම්. සිරිනන්දන මහතාගේ මූලිකත්වයෙන් සමෘද්ධි සංවර්ධන නිලධාරීන් විසින් මෙම මහගු වූ පුණ්‍ය කටයුත්ත සිදු කරන ලදි. මව් පිය සෙනෙහස අහිමි වූ වයස අවුරුදු 5 සිට 17 දක්වා වයස් මට්ටමේ පිරිමි දරුවන් රාශියක් මෙම ළමා නිවාසයේ රැකවරණය ලබන අතර මනා අධ්‍යාපනයක් හා සමාජගත කිරීමක් ඔවුන් වෙත නොඅඩුව ලැබේ.

   උදෑසන ආහාරය සදහා දරුවන්ගේ රුචිකත්වය අනුව සකස් කරනු ලැබූ විවිධ ආහාර වර්ග හා තෑගි බෝග ආදියෙන් සංග්‍රහ කිරීමට කළමණාකාර තුමා හා කාර්ය මංඩලය කටයුතු කල අතර  දරුවන් සමග විනෝදයෙන් පැය කිහිපයක් ගත කිරීමටද අමතක නොකරන ලදි.

   මෙම අවස්ථාවට සමෘද්ධි සමිති සභාපතිවරුන් හා  සමෘද්ධි ප්‍රතිලභීන් පිරිසක්ද සහභාගී වූ අතර ඔවුන් විසින් දැක්වූවා වූ සහයෝගය මෙම කටයුත්ත සාර්ථක කර ගැනීම සදහා මනා පිටිවහලක් විය.

ප්‍රභාත් නිශාන්ත
සමෘද්ධි සංනිවේදක
ගෝනාපීනූවල

නිදහස සමරා අඹගමුව ප්‍රා ලේ කාර්යාලයෙන් වැඩසටහන් රැසක්


   නිදහස් සමරුවට සමගාමිව අඹගමුව ප්‍රාදේශිය ලේකම් කාර්යාලය විසින් සංවිධානය කල විශේෂ සමාජ සත්කාරමය වැඩසටහනක් විදුලිපුර චන්ද්‍රා අනුස්මරණ වැඩිහිටි නිවාසයේදි පැවැත්විය.

  70 වන නිදහස සමරණ 04 වන දා අඹගමුව ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ නිලධාරින්ගේ සහබාගීත්වයෙන් නෝර්ටන්බ්රිහජ් වැඩිහිටි නිවාසයේ වැඩිහිටියන් උදේසා සත්කාරමය සේවාවක් පැවැත්විය. ඒ අනුව එම පරිශ්‍රයේ ශ්‍රමදානමය කටයුත්තක් සිදුකරමින් සුද්ධ පවිත්‍ර කරන ලදි. අඹලමුව කෝරළය ප්‍රාදේශිය ලේකම් ආර්.ටි.පි. සුමනසේකර මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කල වැඩ සටහන තුලදි එම නිවාසයේ බුද්ධ මන්දිරයේදි බුද්ධ පුජාව පවත්වමින්  ආගමික වතාවත් සිදුකිරිමෙන් අනතුරුව සුමධුර ධර්මදේශනාවක් පැවැත්ම හා ධානය පිරිනැමිමක්ද සිදු කලහ.

   ඉන් අනතුරුව වැඩිහිටියන්ගේ රසාස්වාදනය උදේසා සංගීතමය වැඩසටහනක්ද පැවැත්විය. මෙම අවස්ථාවන්ට පරිපාලන නිලධාරි ඩි.වි.පි. බන්ඩාර, සැලසුම් අධ්‍යක්ෂිකා ඇතුළු නිලධාරි මහත්ම මහත්මින් රැසක් එක්ව සිටියහ.

චන්දන ජයවීර
සමෘද්ධි ගමන සන්නිවේදක
හැටන්

Thursday, February 1, 2018

අරණායකටත් හෙළ බොජුන්ලක්


   මෘද්ධි සංවර්ධන දෙපාර්තුමේන්තුවේ ප්‍රතිපාදන හා මෙහෙයවීම යටතේ අරණායක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමෘද්ධි සමාජ සංවර්ධන වැඩසටහනට සමගාමීව පසුගියදා (29) දින හෙළ බොජුන්හලක් ආරම්භ කරන ලදි.

   වස විස නැති දේශීය ආහාර පාන ලබා දීමත්, බෝ නොවන රෝග වැළැක්වීම හා අඩු ආදායම් ලබන සමෘද්ධි ප්‍රතිලාභීන්ගේ ආදායම් වැඩි කිරීම මෙහි මුඛ්‍ය පරමාර්ථයයි. මෙම බොජුන්හල සඳහා කොට්ඨාශයේ අඩු ආදායම්ලාභි සමෘද්ධි පවුල්වල කාන්තාවන් දස දෙනෙකු සමෘද්ධි සංවර්ධන දෙපාර්තුමේන්තවේ මැදිහත්විම යටතේ ගන්නෝරුව කෘෂිකාර්මික මධ්‍යස්ථානය මඟින් ප්‍රායෝගික පුහුණුවක් ලබා දී ඇති අතර හෙළ බොජුන් හල කෑගල්ල දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ ටී.ඒ.පී. කුසුම්සිරි මහත්මිය, අරණායක ප්‍රාදේශිය ලේකම් ඉසෙඩ්.ඒ.එම්. ෆයිසල් මහතා හා මාවනැල්ල පාට්ටගම දේශිය ආයුර්වේද  වෛද්‍ය බණ්ඩාර මහතා ඇතුළු රාජ්‍ය නිලධාරින්ගේ සහභාගිත්වයෙන් ආරම්භ කරන ලදි.

එස්.ඒ. ඉන්ද්‍රනි සුරවීර
සමෘද්ධි ගමන සන්නිවේදක
අරණායක