Sunday, April 30, 2017

දිරිය ලියට සෙවණක් වැඩසටහනින් තවත් නිවසක වැඩ අවසන් වෙමින් පවතී

      නියාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ දුෂ්කර ගම්මානයක් වශයෙන් හැඳින්වෙන පිටිගල කලාපයේ බංගමුකන්ද වසමේ දිරිය ලියට සෙවණක් වැඩසටහන යටතේ ඉදිවන කමලාවතී ජයසේකර මහත්මියගේ නව නිවසේ වැඩ කටයුතු මේ වන විට නිම වෙමින් පවතී. සිය දරු දෙදෙනා සමඟ කටුමැටි ගැසූ නිවසක ජීවත් වෙමින් ජීවන අරගලයක නිරත වූ ඇයට මෙය මහා සම්පතක් වූ බව කමලාවතී ජයසේකර මහත්මිය පැවසුවාය. එසේම මෙම නිවසේ වැඩකටයුතු සම්පූර්ණයෙන්ම අවසන් කර ඉතා ඉක්මනින් නිවසේ පදිංචි වීම තම එකම සිහිනය බව ඇය වැඩිදුරටත් පැවසුවාය. මෙම නිවස ඉදිකර දීම සඳහා බංගමුකන්ද වසමේ සමෘද්ධි සංවර්ධන නිළදාරී සංජය නිශාන්ත මහතා දැඩි උනන්දුවකින් කටයුතු කර ඇත. එසේම පිටිගල සමෘද්ධි ප්‍රජාමූල බැංකු කලමණාකාර ජී.වී.නන්දනී මහත්මියසහ නියාගම ප්‍රාදේශීය මහ ලේකම් එච්.බී.ජී.ප්‍රගීත් රසික කුමාර මැතිතුමාගේ උපදෙස් මත මූලස්ථාන කලමණාකාර යූ.කේ.අනුලා මහත්මිය සහ සමාජ සංවර්ධන සහකාර චරිත් අසේල මනෝරත්න මහතා මෙම වැඩසටහන් සම්බන්ධීකරණ කටයුතු සිදු කරන ලදී.

                         
බී.එච්.ඒ.ප්‍රසන්න
ප්‍රාදේශීය සන්නිවේදක
නියාගම



Thursday, April 27, 2017

ඉමදුවට නව නිලධාරීන් පත්වේ
                 ඉමදුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ  සමෘද්ධි ප්‍රජාමූල බැංකු සමිතියේ 08 වන  සංවත්සරය   හා නිලවරණය පසුගිය 21 වැනි දින ප්‍රාදේශිය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදි ඉමදුව ප්‍රාදේශිය මහ    ලේකම් ජි.ජි. ලක්ෂ්මි කාන්ති මැතිණියගේ ප්‍රධානත්වයෙන් නැටුම් ගැයුම් මැද අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණ.

              
   මෙහිදි ඉමදුව ප්‍රා.ලේ. කොට්ඨාශයට අයත් ඉමදුව ,හවුපේ සහ ආයෝජනගම යන කලාප තුන තුලින් තෝරා ගත් හොදම සමෘද්ධි සමිතිය ,සමාජ සංවර්ධන වැඩසටහන යටතේ වැඩිම කොඩි අලෙවි ආදායම ලබාදුන් නිළධාරින්, සමිති  ඇගයීම, හොදම සමෘද්ධි සංවර්ධන නිලධාරින් ,  
          හොදම සමෘද්ධි සභාපතිවරුන් , වැඩිම තැන්පතු ඒකරාශිකරණය කල නිළධාරින්, සමිති සහ පසුගිය වසර තුල සිය සේවය අපිරිමිතව ලබාදුන් විධායක සභාව ඇගයීම සහ සහතික පත්‍ර ප්‍රදානය කිරිම එහිදි සිදුවිය. පසුගිය වසරේ ගාලු දිස්ත්‍රික්කය තුල වැඩිම තැන්පතු ඒකරාශකරණය කරමින් දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානය ලබාගත් ආයෝජනගම සමාද්ධි ප්‍රජාමූල බැංකුවේ කලමණාකරු ඇතුඑ ඊට දායකත්වය සැපයු සියලු නිළධාරින් ඇගයීම මෙහිදි කැපි පෙනෙන සිදුවීමක් විය. විශේෂයෙන් සමෘද්ධි ව්‍යාපාරය උන්නතිය සහ ඉදිරි ගමන වෙනුවෙන් මහත් කැපවීමක් දායකත්වයක් ලබාදෙන ප්‍රාදේශිය මහ ලේකම් තුමියට විශේෂ තිළිණයක් පිරිනැමිමද මෙහිදි සිදුවිය. තවද 2017 වර්ෂයට නව නිළධාරි මංඩලය පත් කර ගැනිමද එදින සිදු වු අතර මෙවර විධායක සභාවේ නව සභාපති ලෙස හවුපේ කලාපයේ රේණුකා හෙට්ට්ආරච්චි මහත්මිය තේරි පත්විය. මෙම වැඩ සටහන සදහා සංගීතය සැපයීම නැටුම් ගැයුම් සියල්ල කැකුඑ ළමා සමාජ දරු දැරියන් විසින් සිදුකිරිම මෙහිදි කැපි පෙනිණ.
             සමෘද්ධි මූලස්ථාන කලමණාකරු කේ.එම්.ඒ. දිසානායක , සමෘද්ධි කලමණාකාර අධ්‍යක්ෂ කේ.එච්.වි. ලක්ෂමන් යන මහත්වරුන් ඇතුඑ සමෘද්ධි සංවර්ධන නිලධාරින් හා සමෘද්ධි සමිති නිලධාරින් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.





නිශාන්ත සුදුසිංහ
සමෘද්ධි සංනිවේදක - ඉමදුව



උපදේශන සේවා වැඩසටහන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් .......
     2017 වර්ෂය දිළිඳුකම පිටුදැකීමේ වර්ෂය ලෙස රජය විසින් නම් කර ඇති අතර දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් එකී පරමාර්ථ සාධනය කර ගැනීම උදෙසා වැඩසටහන් රැසක් මේ වන විට  දියත් කර තිබේ.
      ඒ යටතේ සමෘද්ධි හා අඩු ආදායම්ලාභි ජනතාවගේ මානසික ගැටළු , පවුල් සංස්ථාව තුළ උද්ගත වන ගැටළු සඳහා පිළියම් යෙදීමේ අරමුණින් උපදේශන සේවා වැඩසටහන් ආරම්භ කිරීමට පියවර ගෙන ඇත. ගම් මට්ටමේ ජනතාව මුහුණ දෙන විවිධ ගැටළුකාරී තත්ත්වයන් සහ ඔවුන්ගේ ජීවන රටාවන් අධ්‍යයනය කිරීමේදී නොදැනුවත්කම සහ අඩු අවධානය උද්ගත වන ගැටළු බොහෝමයකට හේතු වන බව පෙනී ගොස් ඇත.එසේම ආර්ථික අතින් සවිබල ගැන්වීමේදී ඔවුන් තුළ ආකල්පමය සංවර්ධනයක් ඇති කර ධන සිතුවිලි වලින් පොහොසත් කිරීම අත්‍යවශ්‍ය වන හෙයින් මෙවර දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ සමාජ සංවර්ධන අංශය මඟින් දිවයිනේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම උපදේශන හා මාර්ගෝපදේශන වැඩ සටහන පැවැත්වීම සඳහා මුදල් ප්‍රතිපාදන වෙන් කොට ඇත.
     මෙම වැඩ සටහන යටතේ ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 19 තුළම වැඩසටහන් සංවිධානය කිරීම පිණිස රු. 456,000/= ක මුදලක් ලබා දී ඇත.මේ තුළින් එදිනෙදා මුහුණ දෙන ගැටළු හමුවේ ඒවාට සාර්ථකව මුහුණ දෙමින් පවුල් සවිබලකරණය කර ගැනීමට අඩු ආදායම්ලාභී ඔබට පිටිවහලක් ලබා ගත හැකි වේ.මෙහිදී සමාජ සේවා දෙපාර්තමේන්තුවේ උපදේශන නිලධාරීන් ගේ සහාය ද ලබා ගැනීම සිදු කරයි.
එසේම මත් දුව්‍ය නිවාරණය , අධ්‍යාත්මික සංවර්ධනය තුළින් සතුටු පවුල් බිහි කිරීම සඳහා වැඩසටහන් දියත් කිරීමට රු.ලක්ෂ 8 ක මුදල් ප්‍රතිපාදන ගාල්ල  දිස්ත්‍රික්කය සඳහා ලබා දී ඇත.මෙම වැඩසටහන් ඒ ඒ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල සමාජ සංවර්ධන සහකාර නිලධාරීන් විසින් සංවිධානය කරනු ලැබේ. ඔබේ ගැටළු එම නිලධාරීන් වෙත යොමු කිරීමෙන් මේ යටතේ ඔබටත් සේවාවක් ලබා ගැනීමට හැකිවනු ඇත.



ප්‍රියන්ත කුමාර කාරියවසම්,
දිස්ත්‍රික් සන්නිවේදක,
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය,
ගාල්ල.

සමෘද්ධි ජාතික ඇගයීම් උළෙලේ හොඳම සංවර්ධන නිලධාරීණිය ගාල්ලෙන්........
සමෘද්ධි බැංකු 1074 ක් දිවයින පුරා දිස්ත්‍රික්ක 25 ක් ප්‍රා දේශීය ලේකම් කාර්යාල 325 ක් ගම්මාන 14000 ක් ආවරණය කරමින් ස්ථාපිත කොට ඇති අතර සමෘද්ධි වැඩසටහනේ ශක්තිය ලෙස ද පදනම ලෙස ද මෙම බැංකු ජාලය හඳුන්වති.පසුගිය අප්‍රේල් 02 වන දින කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී මෙම බැංකු සහ නිලධාරීන් ඇගයීමේ උළෙලක් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් පවත්වන ලදි.
එම උළෙලේදී දිවයිනේ හොඳම සමෘද්ධි බැංකුව , හොඳම කළමනාකරු, හොඳම සමෘද්ධි සංවර්ධන නිලධාරී ඇතුළු අංශ ගණනාවක් ඹස්සේ ඇගයීම් සිදු කළ අතර දිවයිනේ හොඳම සමෘද්ධි සංවර්ධන නිලධාරී ලෙස ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දේගම ප්‍රාෙද්ශීය ලේකම් කොට්ඨාසයේ ඇල්ලකන්ද සමෘද්ධි බැංකුවේ බද්දේගම නැගෙනහිර ග්‍රාම නිලධාරී වසමේ සේවන කරන කේ.ජී.ඉන්දිකා ලක්මාලි මහත්මිය සම්මානය හිමිකර ගන්නා ලදි.
එසේම දිවයිනේ හොඳම සමෘද්ධි ප්‍රජා මූල බැංකු 10 අතරට තේරී පත්වූ ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගනේගොඩ සමෘද්ධි බැංකුව සම්මාන හිමිකර ගත්තේ 08 වන ද්ථානය හිමිකර  ගනිමිනි.
ජාතික තලයේදී සමෘද්ධි වැජ සටහන තුළ ජයකෙහෙළි නංවමින් දිස්ත්‍රික්කය ඉහළට ඔසවා තබමින් මෙම නිලධාරීන් දිස්ත්‍රික්කයේ සියළුම නිලධාරීන්ට ආදර්ශයක් සපයා ඇත්තේ දිළිඳුකම තුරන් කිරීමේ ජාතික වැඩසටහනට උදාරතර කාර්ය භාරයක් ඉටු කරමිනි. මෙම නිලධාරීනියටත් , බැංකු කළමනාකරු ඇතුළු කාර්ය මණ්ඩලයටත් ගාල්ල දිස්ත්‍රික්කයේ ජනතාවගේ සුභ පැතුම් එක්කරමින් තව දුරටත් අගනා සේවාවක් ප්‍රදේශයේ ජනතාවට ඉටු කරලීමට මොවුන්ට ශක්තිය ධෛර්ය ලැබේවා යයි සමෘද්ධි පවුලේ අපි ප1ාර්ධනා කරන්නෙමු.





සී. ඊ. කොඩිතුවක්කු 
සංනිවේදක බද්දේගම