Thursday, June 29, 2017

සමෘද්ධියෙන් දිවි සරුකරගත් රසිකා නිෂාන්ති 

     බෝපෙ-පෝද්දල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පෝද්දල සමෘද්ධි කළාපයට අයත් මීපාවල වසමේ පදිංචි රසිකා නිෂාන්ති සපුමොහොට්ටි මහත්මියගේ පවුලේ සාමාජිකයින් 4දෙනෙකි. සැමියා සමුපකාර මල් ශාලාවේ කම්කරුවෙකු ලෙස සේවය කරන අතර, පවුලේ වැඩිමහල් පුතා මීපාවල ජාතික පාසලේ ප්‍රාථමික අධ්‍යාපනය හදාරා ද්විතීයික අධ්‍යාපනයක් සදහා ගාල්ල මහින්ද විද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් සිටී. බාල දියනිය මීපාවල ජාතික පාසලේ 6 වසරේ  අධ්‍යාපනය ලබමින් සිටී. සැමියා වෙතින් ලැබෙන ආදායම පවුලේ  මාසික වියදමට කිසිසේත් ප්‍රමාණවත් නොවේ. එසේ උවද ජිවිත ජීවත් කරවීමේ මූලික අවශ්‍යතාව හොදින් තේරුම් ගත් .රසිකා නිෂාන්ති මහත්මිය පවුලේ ආදායම වැඩිදියුණු කිරීමට කුමක් කලයුතුද යන්න දස අතේ කල්පනා කරන්නට විය. එසේ සිටින අතර ඇයගේ සිතට නැගුණේ තමන් සතුව ඇති  පැරණි මහන මැෂිම යොදාගෙන අැදුම් මැසීමට කටයුතු කළහොත් පවුලේ වියදම සුළුවෙන් හෝ පියවා ගැනීමට හැකියාව ඇයට ලැබෙන බව අවබෝධ කරගන්නා  ලදී.

     පවුලේ වියදම් කෙමෙන් කෙමෙන් වැඩිවන තත්වයකට පත්වෙන තත්ත්වය හමුවේ ඇය තවතවත් අසරණ විය. එසේ උවද සමෘද්ධි වැඩසටහන හා සම්බන්ධවී කටයුතු කිරීමෙන් තම අපේක්ෂාව ඉටුකර ගත හැක බව නොදැන සිටි ඇය සිතා සිටියේ එම වැඩසටහන සමෘද්ධි  ලාභීන්හට පමණක් සේවය සලසන වැඩසටහනක් බවයි.

    එම වසමේ වර්තමාන සමෘද්ධි නිළධාරී කපිලසිරි කලංසූරිය මහතා එම වසමේ රාජකාරි කටයුත්තක් සදහා යමින් සිටියදී මෙම මහත්මිය ගේ නිවසටද ගොඩනැගී අවස්ථාවේ සමෘද්ධි වැඩසටහන හා එක්වන ලෙස ඉල්ලීමක් කළද, එම මහත්මිය එම ඉල්ලීම තරයේම ප්‍රතික්ෂේප කොට ඇත.
තම උත්සාහය අත්නොහල සමෘද්ධි නිළධාරී මහතාගේ ඉල්ලීම මතම අවසානයේ ඇය සමෘද්ධි වැඩසටහන හා අත්වැල් බැදගැනීමට කටයුතු කර ඇත.

    ඇය සමෘද්ධි කුඩා කණ්ඩායමකට සමබන්ධව උද්යෝගයෙන් කටයුතු කරන්නට විය. පෝද්දල සමෘද්ධි බැංකුවෙන් රු.7500/=කින් ස්වයංරැකියා ණය මුදලක් පලමුව ලබාගත් ඇය, එම ණය මුදල යොදවා තම දැනුම හා පැරණි  මහන මැෂිම උපයෝගීකරගෙන සුළුවෙන් ඇදුම් මැසීම ආරම්භ කල ඇය සමෘද්ධි බැංකුව ලබාදෙන විවිධ ණය වර්ග රැසක් ලබාගෙන වර්තමානයේදී රු.ලක්ෂ 05 දක්වා ස්වයංරැකියා ණය මුදලක් ලබාගෙන වාරිකද නිසියාකාරව ගෙවීමට කටයුතු කරමින්, තම ස්වයංරැකියා ව්‍යාපෘතිය "රසිකා පැෂන්" යනුවෙන් නම්කොට තම නිවසට යාබදව කොටසක් හා නවීන මහන මැෂින් කිහිපයක්ද තම සුළු ව්‍යාපාරයට එක්කරගත් ඇය කෙමෙන් කෙමෙන් වැඩිදියුණු වන තම ඇදුම් මැසීමේ ව්‍යාපාරය සදහා සේවිකාවන් තිදෙනෙකුටද රැකියා අවස්ථා සලසා ඇත.
     සමෘද්ධි වැඩසටහන පිළිබඳව කිසිදු දැනුවත්  වීමක් නොතිබූ ඇය සමෘද්ධි වැඩසටහනේ  ක්‍රියාකාරී සමාජිකාවකි. වසමේ සමෘද්ධි සමිතියේ සභාපති හා පෝද්දල සමෘද්ධි බැංකුවේ පාලක මණ්ඩල සභාපති  ලෙසද කැපවීමෙන් කටයුතු කරමින් සිටී.

    ඇය හදපිරි සතුටින් ප්‍රකාෂ කලේ තමාට මෙතෙක් ආ ගමනට අතහිත දුන් සමෘද්ධි නිළධාරී කපිලසිරි කලංසූරිය මහතාට හා පෝද්දල සමෘද්ධි බැංකු කළමණාකරතුමිය වන රුක්මණී දේවිකා මහත්මියට  තමා ඇතුළු පවුලේ සැමගේ ස්තුතිය පලකරන ලදී.

සරත් පලිහපිටිය ගමගේ
සමෘද්ධි සන්නිවේදක -
බෝපේ පෝද්දල
වැඩිම අවුරුදු ඉතුරුම් වේදේහපුරින්
   මැදිරිගිරිය කොට්ඨාශයේ 2017 අවුරුදු ගණුදෙණු පිළිබදව අප මෙයට පෙර සාකච්ජා කල අතර වැඩිම කලාපය හා වැඩිම මුදල් ඒකරාශීකල සමෘද්ධි නිලධාරියා පිළිබදව මාධ්‍ය සටහනක් නොතැබීම සමෘද්ධී ගමනට අඩුවක් වූ බැවින් ඒ පිළිබදව සොයා බැලීමට ගමන පියමන් කලේ මණ්ඩලගිරිය කලාපය දෙසටය.

   වසර ගණනාවක් සමෘද්ධි මූලස්ථාන කාර්යාලයේ රාජකාරියෙන් අනතුරුව 2017 මුලදී මණ්ඩලගිරිය සමෘද්ධි කලාපයේ කළමණාකරු වශයෙන් කටයුතු කරන එල්.ආර්.ටි.එස්. කුමාරි මහත්මියගෙන් සමෘද්ධි ගමන අලුත් අවුරුදු වැඩිම කලාපයේ තොරතුරු පිළිබදව විමසන ලදි.

    එතුමිය කියා සිටියේ.......කලාපයේ සියළුම ක්ෂ්‍රේත්‍ර සමෘද්ධි සංවර්ධන නිලධාරීන් සෑම වර්ෂයකම ඉලක්කයකින් තොරව ග්‍රාමීය ප්‍රජාව සමග අළුත් අවුරුදු ගණුදෙනු කර ඇති බවත්, මෙම වර්ෂයේ පෙර වර්ෂවල මෙන්ම ගණුදෙනු සිදුකල බවත්, අළුත් අවුරුදු ගණුදෙනු පමණක් නොව සමෘද්ධි වැඩසටහනේ විවිධවූ රාජකාරී හා බද්ධව ඉතා උනන්දුවෙන් කටයුතු කරන අතර 99 වේදේහපුර වසමේ රාජකාරි නියුතු ආර්.ඩි. නිමල් රාජමුණි මහතා රුපියල් 1225400/= වැඩිම මුදලක් මෙවර ඒකරාශි කරමින් මැදිරිගිරියෙන් ප්‍රථමයා වෙමින්ද කලාපයේ සමස්ථ මුදල රුපියල් 4377037/= ඒකරාශී කර මැදිරිගිරිය කොට්ඨාශයෙන් මණ්ඩලගිරිය කලාපය පලමු ස්ථානයද ලබාගෙන ඇති බව සදහන් කල අතර, මණ්ඩලගිරිය කලාපයෙන් පලමු 25දෙනා අතරට 09 දෙනෙක් තේරී ඇති බවත්, රුපියල් 717550/=ක මුදලක් ඒකරාශිකර මැදිරිගිරියෙන් දෙවන ස්ථානය ලබාගෙන ඇත්තේද මණ්ඩලගිරිය කලාපයේ 106 සෙනරත්පුර වසමේ රාජකාරි කරන එම්.අයි.ජි. ජයසේන මහතා බව වැඩිදුරටත් එතුමිය සදහන් කරමින් සමස්ථ නිලධාරීන්ට ගෞරවය හිමි වන බව සදහන් කරන ලදි.

    මණ්ඩලගිරිය කලාපයෙන් වැඩිම මුදලක් ඒකරාශිකල 99 වේදේහපුර වසමේ ආර්.ඩි.එන්. නිමල් රාජමුණි මහතා හමුවූ සමෘද්ධි ගමන සංනිවේදක එතුමා සමග දොඩමළු වූයේ කොහොමද රාජමුණි මහතා අළුත් වසම, මේ පාර අළුත් අවුරුදු ගණුදෙනු වලින් මැදිරිගිරියෙන් පලමු වැනියා නේද..? අසමිනි, රාජකාරී කටයුත්තක නියැලී සිටි රාජමුණි මහතා ප්‍රකාශකර සිටියේ.....2017 මාර්තු මාසයේ මා නව වසමේ රාජකාරී බාරගත් බවත්, මා රාජකාරී කල අනෙකුත් වසම් හා සාපේක්ෂව එම වසමේ ප්‍රජාව සමෘද්ධි වැඩසටහනට ඉතාම ලෙන්ගතු කමක්, හිතවත් කමක්,ආදරයක් දක්වන බවත්,සෑම වැඩසටහනකටම බද්ධව උනන්දුවෙන්  ක්‍රියාශිලීව සහයෝගය දක්වන අතර අවුරුදු ගණුදෙනු  කිරීමේදී සමස්ථ සමිති නිලධාරී මණ්ඩලය මෙන්ම සියළුම දෙනා සහයෝග ලබා දිම නිසා වේදේහපුර වසම පලමු ස්ථානය ලබාගෙන ඇති බව සදහන් කරන ලදි. වැඩිදුරටත් එතුමා කියා සිටියේ මෙයට පෙර මෙම වසමේ රාජකාරීකල වජිරා මල්කාන්ති මහත්මිය කැපවීමෙන් සජීවිකරණ වැඩසටහනතුල මෙම වසමේ සියළුදෙනා දැනුමෙන්, ධනාත්මක ආකල්ප වර්ධනයෙන් පෝෂණය කර පවුල, කණ්ඩායම, සමිතිය හොද ස්ථාවරයකට ගෙන ගොස් තිබීම තුල මෙම ජයග්‍රහණය ලබාගත් බවත් පලමුව වජිරා මහත්මියට ස්තූති වන්ත වන බවද සදහන් කර ලබන වසරේ ලක්ෂ 20-25 පමණ මුදලක් ඒකරාශි කිරීමට අපේක්ෂා කරන බවද ප්‍රකාශ කරන ලදි..

ඩි.එම්.පි.කේ. දිසානායක
සමෘද්ධි ගමන දිස්ත්‍රික් සංනිවේදක
පොළොන්නරුව

සවිබල ගැන්වීම් ව්‍යාපෟති “ඇලහැර”  

    ඇලහැර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ 2017 සවිබල ගැන්වීම් ව්‍යාපෟති සඳහා ප්‍රතිලාභීන් තොරා ගැනීම සිදුකර, ඉලක්කගත අාර්ථික ක්‍රියාවලියකට යොමුකර ඇති අතර අංක 8 දමනයාය වසමේ ආර්.එම්. කරුණාරත්න මහත්මා විසින් කරගෙන යනු ලබන කිරි ගව පාලන ව්‍යාපෘතිය ඉතා සාර්ථක එකකි. දැනට නිවසෙහි ආහාර පිසීමට ජීව වායු ඒකයක්ද පවත්වාගෙන යනු ලබන අතර, ප්‍රාදේශීය ලේකම්තුමියගේ උපදෙස් මත මූලස්ථාන කළමණාකාර තුමන් සහ කළමණාකාර තුමන්ගේ අධීක්ෂනය යටතේ වසම භාරව කටයුතු කරන සමෟද්ධි නිළධාරී  බී.ජී. චන්ද්‍රාණි කුමාරි මහත්මිය ව්‍යාපෘතිය වැඩිදියුණු කිරීමට අවශ්‍ය කටයුතු සංවිධානය කරනු ලබයි.  
කේ එම් වික්‍රමවංශ රාජපක්ෂ
ගමන සන්නිවේදක - ඇලහැර

Wednesday, June 28, 2017

විසිතුරු මල් පැල වගාවෙන් සිහින සැබැ කරගත් තුෂාරි

    පාසල් යන කාලයේදීම විසිතුරු මල් පැල සඳහා ඇළුම්කල තුෂාරි කුමුදු නදීෂානි ගොඩකන්ඳ ආරච්චි ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ 99 මාගාල්ල ග්‍රාම නිලධාරී වසමේ සමෘද්ධි ලාභියෙකි. දෙදරු මවක් වන ඇයගේ මව ද ජීවත්වන්නේ තුෂාරි සමගය, ස්වාමිපුරුෂයා ලී මෝලක කම්කරුවකු වන අතර වැඩිමහල් පුතා පාසලේ 4 ශ්‍රේණියේ ඉගෙනුම ලබයි. බාලයා තවමත් අවුරුදු 2ක් වයසැති දරුවෙකි.

    තම පාසල් වියේ සිට තිබූ සිහිනය සැබෑකරන්නට ඇය සමෘද්ධි ව්‍යාපාරය තුලින් ලබාදුන් ණය ලබා ගනිමින් ඉතා සුළු වශයෙන් විසිතුරු මල් පැල වැවීමට පටන් ගන්නා ලදී. මේ අතර තුර සමෘද්ධි ව්‍යාපාරය තුලින් පවත්වනු ලබන විවිධ පුහුණු වැඩසටහන් වලට සහභාගීවී පැල තවාන වැඩිදියුණු කිරීමට අවශ්‍ය කෘෂි කාර්මික දැනුම වැඩිකරගනු ලැබීය.

    දිවිනැගුම ව්‍යාපාරය තුල ක්‍රියාත්මක වූ ජීවනෝපාය සංවර්ධන වැඩසටහන් ඇයගේ සිහිනය සැබෑ කරන්නට අවශ්‍ය උපදෙස් හා සහයෝගය ලබා දෙමින් රු. 150000.00 මුදලක් දිවිනැගුම ව්‍යාපාරය තුලින් ප්‍රධානයක් වශයෙන් ලබාදීමටත් රු. 700000.00 ක මුදලක් බැංකු ණයක් වශයෙන් ගැනීමට අවශ්‍ය උපදෙස් හා මග පෙන්වීම් කල අතර ඇය විසින් ඉතිරි කරගත් රු. 550000.00 ක් සමගින් රු. 1400000.00 කට මහේන්ද්‍ර බෝල්රෝ මැක්සි ට්‍රක් රථය මිලදී ගෙනදෙන්නට දිවිනැගුම අංශය සමත් විය.

    තුෂාරිගේ  උත්සාහයේ ප්‍රතිථලයක් ලෙස ගාල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් 2015 වර්ෂයේදී සැප්තැම්බර් 29/30 යන දින වලදී පවත්වන ලද “දා බිඳු මුතු - 2015” වෙලඳ ප්‍රදර්හනයේ හොඳම ව්‍යවසායකයින් අතරින් 03වන ස්ථානය දිනාගන්නටත්, 2017 අප්‍රේල් 04,05 යන දිනයන්හි ගාල්ල දිස්ත්‍රික් සමෘද්ධි කාර්යාලය මගින් සංවිධානය කරන ලද “සමෘද්ධි අභිමානී -2017” වෙලඳ ප්‍රදර්ශනයේ හොඳම ව්‍යාවසායකයින් 10දෙනා අතරට තේරී පත්වන්නනට ඇයට හැකිවිය.

පී.එස්. දම්මික සෙනරත්
සමෘද්ධි සන්නිවේදක
ගාල්ල - කඩවත් සතර
සතුටු පවුලක් ගොඩනැගීමට දැනුම


  කරන්දෙනිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ ඌරගස්මන්හන්දිය සමෘද්ධි කලාපයේ වසම් 17ක පදිංචි පවුල් 85ක දෙමහල්ලෝ වෙනුවෙන් විශේෂ අධ්‍යාත්මික සංවර්ධන වැඩසටහනක් පසුගියදා බැංකු පරිශ්‍රයේදී පැවැත්විණි. හෙල්දි ලංකා ආයතනයේ සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය විදාතා අංශයේ හා උපදේශණ අංශයේ සම්පත්දායකත්වයෙන් දවසපුරා පැවති මෙම වැඩසටහනේදි මත්ද්‍රව්‍ය සහ දුම්වැටි නිවාරණය, ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය වැලැක්වීම අරමුණින් දැනුම්වත් කිරීම සහ ක්‍රියාකාරකම් රැසක් වෙත ඉලක්ක කණ්ඩායම යොමු කරන ලදි.
   කරන්දෙනිය සමෘද්ධි සමාජ සංවර්ධන පදනමේ පූර්ණ අනුග්‍රහයෙන් පැවති මෙම අවස්ථාවට ඌරගස්මන්හන්දිය කලාපයේ සමස්ත නිලධාරී කණ්ඩායම සහභාගී වී සිටියහ.

එල්.පී. වසන්ත කුමාර
සමෘද්ධි සන්නිවේදක - කරන්දෙණිය
සමෘද්ධි සිප්දොර ශිෂ්‍යත්ව සම්මුඛ පරික්ෂණ පැවැත්වේ.

    2016 වසරේ අ.පො.ස(සා.පෙ) සමත් සමෘද්ධි ලාභී පවුල් වල දරු දැරියන් උදෙසා පිරිනැමෙන  සිප්දොර ශිෂ්‍යත්ව ලබා  දීමේ නියාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අදාල සම්මුඛ පරීක්ෂණය පසුගියදා නියාගම සමෘද්ධි ප්‍රජා මූල සමිති ශ්‍රවනාගාරයේදී පැවැත් වුණි. මූලස්ථාන කළමනාකාර යූ.කේ. අනුලා මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙම සම්මුඛ පරීක්ෂනය පැවැත් වුනි. පසුගිය වසරේ අ.පො.ස (සා.පෙ ) විභාගයෙන් ඉහල ප්‍රතිඵල ලබා ගත් සිසු දරු දැරියන් විශාල පිරිසක් මෙම සම්මුඛ පරික්ෂණය සදහා පැමිණ සිටියහ. හොරන්ගල්ල පභංකර මහා විද්‍යාලයේ විදුහල්පති පත්මකුමාර ගුණවර්ධන මහතා ද මෙම සම්මුඛ පරික්ෂණ මණ්ඩලයේ ප්‍රධානියා වශයෙන් කටයුතු කල අතර සමෘද්ධි බැංකු කළමණාකාර මහත්ම මහත්මීන් එහි අනෙකුත් සාමාජිකයන් විය. ප්‍රාදේශීය ලේකම් එච්.බී.ජී. ප්‍රගීත් රසික කුමාර මහතාගේ සහ සහකාර ප්‍රාදේශීය ලේකම් චතුර මිහිදුම් මහතාගේ උපදෙස් මත සමාජ ආරක්ෂණ නිලධාරී චම්පිකා නිරංජලී පොන්නම්පෙරුම මහත්මිය මෙම කටයුතු සංවිධානය කර  තිබුණි.

බී.එච්.ඒ. ප්‍රසන්න
සමෘද්ධි සන්නිවේදක - නියාගම
සත්සර නදෙන් ළමා සමාජ ප්‍රාදේශීය සභාව බිහිවේ......

      දැයක් පුබුදමු මතින් තොර වෙමු තේමා පාඨයත් මුල් කරගෙන සමෘද්ධි කොඩි දිනයට සමගාමීව මැදිරිගිරිය ප්‍රාදේශිය ළමා සභාව පසුගියදා ආරම්භ කරන ලද්දේ මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් එන්.ඒ.ඒ.එස්. නිශ්ශංක ආරච්චි මහතාගේ මගපෙන්වීමෙන්  පොළොන්නරුව දිස්ත්‍රික් සමෘද්ධි නියෝජ්‍ය අධ්‍යක්ෂ ඩබ්.ජි.ඩබ්. වනසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි.

    සමෘද්ධි සමාජ සංවර්ධන සහකාර ආර්.එම්.එස්.කේ. මුණසිංහ ආරච්චි මහතා මනාව සංවිධානය කර තිබූ මෙම උත්සවය කාගේත් සිත්ගත් අවස්ථා වූයේ එතුමාගේ උත්සාහයෙන් සියළු දෙනා නැවත ළමා ලෝකයට කැදවාගෙන යෑමයි. විවිධවු කලා කුසලතාවයන්ද ඔප් නන්වමින් ළමා ළපටින්ගේ ගී නද පරිසරයට මුසු කලේ ආර්.එම්.එස්.කේ. මුණසිංහ ආරච්චි මහතා සහ සමෘද්ධි සංවර්ධන නිලධාරී එන්.ජි.පි. සිසිර කුමාර මහතාගේ මියුරු සත්තර වාදනයෙන් පණ පොවමිණි.

      ලියාපදිංචි ළමා සමාජ 15ක නිලධාරීන් මෙම අවස්ථාවට සහභාගීවූ අතර 2016 දිස්ත්‍රික් සහතික ලබාදීම, ළමා සමාජ නිලධාරීන් ඇගයීම, ක්‍රීඩා භාණ්ඩ බෙදාදීම සහ ළමා සමාජ ප්‍රාදේශීය සභාව පිටුවීම සිදුකරන ලදි.

     මෙම උත්තව අවස්ථාවට දිස්ත්‍රික් සමාජ සංවර්ධක කළමණාකරු යමුනා මල්කාන්ති මහත්මිය දිස්ත්‍රික් සමාජ සංවර්ධන විෂය ලිපිකරු එච්.ඩබ්. සිරිල් මහතා ප්‍රමුඛ මැදිරිගිරිය මූලස්ථාන කළමණාකරු ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරී ඇතුළු සියළු කලාප කළමණාකාර මහත්ම මහත්මීන් සමෘද්ධි සංවර්ධන නිලධාරි මහත්ම මහත්මීන් මෙන්ම  ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය සේවක මහත්ම මහත්මීන් විශාල පිරිසක් සහභාගි වි සිටි අතර උත්සව අවස්ථාව අමතා සමෘද්ධි නියෝජ්‍ය අධ්‍යක්ෂ තුමා ප්‍රකාශ කර සිටියේ ළමා මනස තුල සෞන්දර්යාත්මක සිතුවිලි වර්ධනය කිරිම හා ධනාත්මක ආකල්පමය වෙනසක් ඇති කිරිමට ළමා සමාජ වලට ළමයි යොමුවීම තුලින් හැකි වන බවත්, මෙම වැඩසටහන සෑම කොට්ඨාශයකම ක්‍රියාත්මක කිරිම කාලෝචිත වන බව හා දරුවන්ගේ විෂය දැනුම මෙන්ම භාහිර කුෂලතාවයන්ද වර්ධනය කර  අධ්‍යාත්මක සංවර්ධනය තුලින් යහපත් ළමා පරපුරක් සමාජයට දායාද කිරිමට සමෘද්ධි ළමා සමාජ මනා පිටුවහලක් වන බවයි.


ඩි.එමි.පි.කේ. දිසානායක
සමෘද්ධි ගමන දිස්ත්‍රික් සංනිවේදක
පොළොන්නරුව

සමෘද්ධි කලමණාකරුවන් සදහා මැලේසියානු සංචාරක වරම්


    2017 සමෘද්ධි බැංකු හරසර වැඩසටහනේදි දිවයිනේ ඉහළ ස්ථාන ලබාගත් බැංකු සංගම් හී කලමණාකරුවන් සදහා මැලේසියානු සංචාරයක් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් ලබාදුන් අතර ඒ සදහා සහභාගී වූ පුත්තලම දිස්ත්‍රික්කයේ ආරච්චිකට්ටුව දිගන්වැව සමෘද්ධි බැංකු කලමණාකරු චමින්ද පීරිස් මහතා (දකුණ කෙළවර) සමග අනෙකුත් පිරිස ඡායාරූපයකට පෙනි සිටි අවස්ථාව.

කුලරත්න ජයසේකර
ගමන සන්නිවේදක -
ආරච්චිකට්ටුව
මත්ද්‍රව්‍ය නිවාරණ දැණුවත් කිරිමේ වැඩසටහන

     ආරච්චිකට්ටුව සමෘද්ධි සමාජ සංවර්ධන අංශය මගින් ප්‍රදේශයේ හදුනාගත් පවුල් ඉලක්ක කර ගනිමින් පවත්වනු ලබන මත්ද්‍රව්‍ය නිවාරණ දැණුවත් කිරිමේ වැඩසටහනක් 2017.06.27 දින ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවනාගාරයේදි පවත්වනු ලැබීය. මෙහිදි වැඩසටහන සම්බන්ධිකරණය කිරීම පුනරුත්ථාපන සංවර්ධන නිලධාරි එස්.එන්.ජී.එම්. නිරාශා සමුර්දි මහත්මිය විසින් සිදුකල අතර සම්පත්දායකත්වය පුත්තලම දිස්ත්‍රික් සම්බන්ධිකාරක මානසික වෛද්‍ය බුද්ධික විජේගුණරත්න මහතා විසින් සිදු කරන ලදි. මෙම වැඩසටහන මෙහෙයවීම සමෘද්ධි මූලස්ථාන කලමණාකාරිනි නිරුපා ප්‍රනාන්දු මෙනවිය විසින් සිදුකල අතර ආරච්චිකට්ටුව සහකාර ප්‍රාදේශීය ලේකම්  ඩබ්.ඒ.එස්.සී.ජී.ජාන්ස මහත්මිය මුලසුන හෙඹවූවාය.

කුලරත්න ජයසේකර
ගමන සන්නිවේදක -
ආරච්චිකට්ටුව

Tuesday, June 27, 2017

දැයක් පුබුදමු - මතින් තොරවෙමු 
නිවහල් දේශයක් - දැහැමි සමාජයක්

      සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව ජාත්‍යන්තර දුම්වැටි විරෝධී දිනය වෙනුවෙන් පොළොන්නරුව දිස්ත්‍රික් සමෘද්ධි දුම්වැටි විරෝධී දිස්ත්‍රික් කොඩි දිනය පසුගියදා පවත්වන ලද්දේ දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂක වනසිංහ මහත්මාගේ ප්‍රධානත්වයෙනි. 

     ආගමික වතාවත් වලින් අනතුරුව පලමු කොඩිය දිස්ත්‍රික් අධ්‍යක්ෂක වනසිංහ මහතා මිලදී ගත් අතර මෙම උත්සව අවස්ථාව සංවිධානය කරන ලද්දේ දිස්ත්‍රික් සමාජ සංවර්ධන කළමණාකරු යමුනා මල්කාන්ති මහත්මිය විසිනි. මෙම උත්සව අවස්ථාව සදහා තමන්කඩුව මූලස්ථාන කළමණාකරු අජන්තා ඉබුල්දෙනිය මහත්මිය ඇතුළු දිස්ත්‍රික් සමෘද්ධී කාර්ය මණ්ඩලයේ මහත්ම මහත්මීන්ද සහභාගීවි සිටි අතර සමෘද්ධි අධ්‍යක්ෂක තුමා පැමිණ සිටි අය අමතා ප්‍රකාශ කර සිටියේ අද මත්ද්‍රව්‍ය වලට වැඩි වශයෙන් පෙලබී ඇත්තේ දුප්පත් අයවළුන් බවත්, දුප්පත් කමින් මිදීමටනම් මත් උවදුරෙන්ද ප්‍රජාව මුදවා ගත යුතු බවත්, ඒ සදහා සමෘද්ධි වැඩසටහනට සම්බන්ද සියළු නිළධාරින් ඉතා උනන්දුවෙන් කටයුතු කල යුතු බවත්ය.

කේ.එම්.විජිත කරුණාරත්න                
ඩි.එම්.පි.කේ. දිසානායක
ගමන සමූහ සංනිවේදක                              
තමන්කඩුව / පොළොන්නරුව
සමෘද්ධි කැකුලු ළමා සමාජ කලාප තරගාවලිය සාර්ථකව අවසන්වේ

   නියාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ නියාගම, මත්තක සහ පිටිගල කලාප වල 2017 වසරට අදාල සමෘද්ධි කැකුලු ළමා සමාජ තරගාවලිය පසුගියදා පැවැත් වුණි. පසුගිය වසරට වඩා ළමා සමාජ දරු දැරියන්ගේ වැඩි සහභාගීත්වයක් මෙවර දක්නට ලැබුණි. ඒ අනුව නියාගම කලාප තරග නියාගම ශ්‍රී පුණ්‍යවර්ධනාරාම විහාරස්ථානයේ දී පැවැත්වූයේ නියාගම සමෘද්ධි බැංකු කළමණාකාර ප්‍රියංකා චාමිණි කොඩිකාර මහත්මියගේ  ප්‍රධානත්වයෙනි.සෑම වසමක්ම නියෝජනය කරමින් ලමා සමාජ තරග කරැවන් පැමිණ සිටී විශේෂත්වයකි. බාහිර විනිශ්චය මණ්ඩලයක් මගින් මෙහි විනිශ්චය කටයුතුසිදු කරන ලදි. නියාගම කලාපයේ සමෘද්ධි සංවර්ධන නිළධාරීන් මෙන්ම ප්‍රාදේශීය සංවිධාන ගරැ සභාපති එම්.ජී. මිත්‍රපාල මහතා ඇතුලු පිරිසක්ද මෙයට එක්විය. මීට අමතරව මත්තක කලාපයේ තරග කලාප කාර්යාල පරිශ්‍රයේදී පැවැත්වුණි. මත්තක  සමෘද්ධි බැංකු කළමණාකාර කුමුදුනී මහත්මිය සහ සමෘද්ධි සංවර්ධන නිළධාරින් විසින් මෙම තරග සංවිධානය කර තිබුණි. පිටිගල කරව්ව නන්දන විහාරයේ පැවති පිටිගල කලාප තරග සදහා ඉදිරිපත් වීමට ළමා සමාජ දරු දැරියන්ගේ දැඩි උනන්දුවක් දක්නට ලැබුණි. කළමණාකාර ජී.වී. නන්දනී මහත්මිය සහ පිටිගල කළාපයේ සමෘද්ධි සංවර්ධන නිළධාරීන්ගේ මෙහෙය වීම මත මෙම තරග පැවැත්වුණි. නියාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය සමෘද්ධි බැංකු සමිති කළමණාකරන අධ්‍යක්ෂ සුමිත් කිත්සිරි මහතාගේ සහ සමාජ සංවර්ධන සහකාර චරිත් අසේල මනෝරත්න යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ මෙම තරග සියල්ල පැවැත්වුණි.

බී.එච්.ඒ. ප්‍රසන්න
සමෘද්ධි සන්නිවේදක - නියාගම
සමෟද්ධි ලාභීන්ට ගෑස්…

    ඇලහැර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සමෟද්ධි සහනාධාර ලබන, නොලබන අඩු ආදායම් ලාභීන් වෙනුවෙන් සහන පදනමක් මත පහසු ගෙවීම් ක්‍රමවේදයක් යටතේ සමෟද්ධි බැංකු ණය මුදල් ලබා දෙමින් ගෟහස්ත ගෑස් සිලින්ඩර, ගෑස් ලිප් සහ උපාංග කට්ටල ලබාදීම සිදුකෙරෙන අතර සමෟද්ධි හා අඩු ආදායම් ලබන ප්‍රජාවගේ ජීවන තත්වය ඉහල නැංවීම මෙන්ම මුලුතැන්ගෙය තුළ දල්වන දර සොයා ගැනීමේදී පවතින බාධකයන්ට විකල්පයක්  ලෙසත් දර දහනය තුළින් පිටවන දුම මගින් පවුලේ  අයට ඇතිවන අහිතකර බලපෑම් අවම කිරීම, රෝගාබාධ ඇතිවිමට ඇති අවධානම අඩු කිරීම නීරෝගී පවුල් ඒකකයකට අත්වැලක් වීමද අරමුණු කරගෙන ලාෆ්ස් ගෑස් සමාගම හා එක්ව  මෙම වැඩසටහන සමෟද්ධි බැංකුව මගින් ක්‍රියාත්මක කරන අතර, සමෟද්ධි මූලස්ථාන කළමණාකාර එස්.එම් ගාමිණි කුමාරසිංහ කළමණාකාර දුමින්ද සංජීව  යන මහත්වරැන් විසින් මෙම වැඩසටහන  ආරම්භ කරනු  ලැබීණි.   
 
 
   කේ එම් වික්‍රමවංශ රාජපක්ෂ
   ගමන සන්නිවේදක - ඇලහැර
ඉතුරුම් සොයා ගමන ගියදා

   මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සමෘද්ධි අළුත් අවුරුදු ගණුදෙනු පිළිබදව සමෘද්ධි ගමන 2017.06.23 දින විපරම් කලේ සමෘද්ධි දෙපාර්තමේන්තුවේ වාර්ෂික රාජකාරි කටයුත්තක් ගමනටද අමතක නොවන නිසාවෙනි.

    ගමන මේ පිළබදව සමෘද්ධි බැංකු සමිති කළමණාකාර අධ්‍යක්ෂක ජි.එම්.සි. සුගත් කුමාර මහතා සමග දෙඩමළු වූයේ අධ්‍යක්ෂක තුමණි... 2017 සමෘද්ධි අළුත් අවුරුදු  ගණුදෙණු කොහොමද කියාය. ‍ 2017 වර්ෂයේ පෙර වර්ෂ වලට වඩා හොද ප්‍රවණතාවකින් අවුරුදු ගණුදෙණු ඉතා ඉහල මට්ටමක පවතින බවත්, කළමණාකාර මහත්ම මහත්මීන් ඇතුළු සියළුම කේෂ්ත්‍ර නිළධාරී මහත්ම මහත්මින් උනන්දුවකින් කැපවීමකින් සියළු ග්‍රාමීය ප්‍රජාවත් සමග සහයෝගයෙන් වැඩකල නිසා මෙම මුදල් වර්ධනය වූ බවත්, මණ්ඩලගිරිය කලාපය රුපියල් 4377037/= ද දිවුලන්කඩවල කලාපය රුපියල් 3336744/= සහ දියසෙන්පුර කලාපය රුපියල් 1782439/= බැගින් සමස්ථ ඉතුරුම් රුපියල් 9496220/=   බවත්, මණ්ඩලගිරිය කලාපයේ 99 වේදේහපුර වසම මෙවර අවුරුදු ගණුදෙණු වලින් පලමු ස්ථානය ලබාගෙන ඇති බවත්, ඒ සදහා දායකත්වය ලබාදි ඇත්තේ සමෘද්ධී සංවර්ධන නිලධාරී ආර්.ඩි. නිමල් රාජමුණි මහතා බවත්, කළමණාකාර අධ්‍යක්ෂක තුමා පිළිතුරු දෙන ලදි.

    ගමන - අධ්‍යක්ෂක තුමණි සියළු නිළධාරීන් ස්ථාන මාරුවීම් ලබාගෙන මාසයක් යන්නට පෙර අවුරුදු ගණුදෙණු ආවා. මෙම ස්ථාන මාරුවීම් ලබද්දිත් ගිය වසරට වඩා මෙම වසරේ වැඩි ප්‍රවනතාවකින් ගණුදෙණු වැඩිවෙලා එහෙම වුනේ කොහොමද......? 

   අධ්‍යක්ෂක තුමා - ස්ථානමාරුවීම් රාජකාරියට බලනොපාන බවත්, අදාල වසම්වල පෙර රාජකාරී කළ නිළධාරින්ගේ රාජකාරී කටයුතු මේ සදහා උපකාරී වන බවත් මෙම වසරේ 99 වේදේහපුර වසම පලමු ස්ථානය ලබාගෙන ඇති බවත් මේ සදහාද බලපා ඇත්තේද එම වසමේ සේවය කල වජිරා මල්කාන්ති මහත්මිය ප්‍රජාව සමග ප්‍රජා සහභාගිතයෙන් කටයුතු කල නිසාය.

  ගමන.... සමෘද්ධි කළමණාකාර අධ්‍යක්ෂක තුමාට ස්තූති කොට ගමනට සූදානම් වේද්දී දියසෙන්පුර කලාපයේ සමෘද්ධි කළමණාකරු පි.ආර්. මිල්ටන් රාජපක්ෂ මහතා හමුවූයේ බැංකු සමිතියේ රාජකාරි කටයුත්තකට පැමිණ සිටියදීය.

   ගමන හඩ අවදිකලේ ආයුබොවන් කළමණාකාර තුමණි, කොහොමද අවුරුදු ගණුදෙණු කියාය.. ආයුබෝවන්... මගේ කලාපයේ වසම් 15ක් තිබෙනවා නමුත් අවුරුදු ගණුදෙනු සදහා වසම් 13ක් පමණයි දායකත්වය ලබා දෙන්නේ දැනට වැඩසටහනට සම්බන්ද නොවන පල්ලියගොඩැල්ල හා අග්බාර්පුර වසම් මේ සදහා දායකත්වයක් ලබා නොදෙන බවත් ඉදිරියේදී මෙම වසම්ද එකතු කරගනිමින් සමස්ථ සමෘද්ධී වැඩසටහනම ආවරණය කරන බවත් කලාපයේ සියළුම සමෘද්ධි කාර්ය මණ්ඩලය කැපවීමෙන් දායකත්වය දැක්වූ බවත්, සදහන් කරන ලදි.

   ගමන - කළමණාකාරතුමණි, ඔබතුමා සමෘද්ධි සංවර්ධන නිළධාරී වරයෙකු වශයෙන් වැඩිකාලයක් මැදිරිගිරියේ ගම් නියම්ගම්වල සේවයකරා, බැංකු සහකාර කළමණාකාර වරයෙකු ලෙස සේවයකර උසස් අධ්‍යාපනයෙන් පසු කළණාකාර වරයෙකු වශයෙන් පොළොන්නරුව නාගරික විවිධවූ ජනතාවත් සමග සේවය කර මෙම වසරේ ස්ථාන මාරුවකින් නැවත මැදිරිගිරියේ ග්‍රාමීය ජනතාගේ සේවයට පැමිණ තිබෙනවා කොහොමද ගමයි නගරෙයි.

 කළමණාකාරතුමා - මා හරිම සතුටින් ගමේ රාජකාරියට ආවේ. ග්‍රාමීය ජනතාව තුල සාමූහික හැගීම වැඩියි. එම අයගේ ප්‍රශ්ණ ගැටළු වලදී පවා ඔවුන් සාමූහිකව ඒකරාශිවී විසදුම් හොයනවා. ඉතිරිකිරීම් වලදී පවා ග්‍රාමීය ජනතාව වැඩි ප්‍රවණතාවයක් දක්වන බවත්, ඉදිරියේදී සියළුම ප්‍රජාව සමග බද්ධව ප්‍රමාණාත්මක සේවාවක් ලබාදීම තම අරමුණ බවත් සදහන් කරන ලදි.

    ගමන එතුමාට සමුදී අලුත් අවුරුදු වැඩිම කලාපයේ කළමණාකරු හා වැඩිම මුදල් ඒකරාශීකල සමෘද්ධී නිලධාරීයා සොයා ගමනේ යෙදෙන්නට විය.


ඩි.එම්.පි.කේ. දිසානායක
සමෘද්ධී ගමන දිස්ත්‍රික් සංනිවේදක
පොළොන්නරුව

Monday, June 26, 2017

පිණිකහන කලාපයේ ළමා සමාජ සාහිත්‍ය තරග ආරම්භවේ



      පිණිකහන සමෘද්ධි බැංකු කලාපයට අයත් ළමා සමාජ සාහිත්‍ය තරග ඇල්පිටිය ප්‍රාදේශිය ලේකම් විමල් සිසිර කුමාර මහත්මාගේ උපදෙස් පරිදි පිණිකහන සමෘද්ධි බැංකු කළමණාකරැ චන්ද්‍රා ලියනගමගේ මහත්මියගේ අධික්ෂණය යටතේ අද දින (26) පිණිකහන සමෘද්ධි බැංකු පරිශ්‍රයේදී මේ වන විට ආරමිභ වී ඇත. ඒ අනුව පිණිකහන බැංකු කලාපයට අයත් ළමා සමාජ සමාජිකත්වය හිමි දරැවන් සදහා මෙම තරග සංවිධානය කර ඇත. වයස් කාණ්ඩ කිහිපයක් යටතේ එනම් වයස 7 - 10, 11 - 14, 15 - 18 යටතේ තරග ඉසවු රැසක් ඹස්සේ තරග කිරීමට අවස්ථාව සලසා දී ඇත.

      විශාමලත් විදුහල්පති එන්.එම්.ජී. ගාමිණි ප්‍රේමතිලක, කහදුව මහ විද්‍යාලයේ නර්තන ආචාර්ය නන්දනී විජේවර්ධන, ඇල්ල ශ්‍රී සාසනචන්ද්‍ර විද්‍යාලයේ සාහිත්‍ය ආචාර්ය සුජීවා මල්කාන්ති නානායක්කාර, ඉහල පතිරාජ විද්‍යාලයේ ආචාර්ය සාහිත්‍ය විශාරද දිලුම් ගාමින්ද මාගෙදරගම, කහදුව මහ විද්‍යාලයේ ආචාර්ය නිහාල් ශාන්ත තුඩුවගේ, නියාගම විජිත මහ විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති සනත් ප්‍රියන්ත සුමනසිරි, ඇත්කදුර සීවලී මහ විදුහලේ නර්ථන ආචාර්ය සීතා රංජනී වීරසිංහ යන ප්‍රවීන විනිචය මණ්ඩලයක් මගින් මෙම තරග විනිචය කරනු ලබයි. මෙම අවස්ථාව සදහා කලාප සහකාර ඩල්සි ඊවා ඇතුලු සංවර්ධන නිලධාරීන් විශාල පිරිසක් සහභාගි සිටිති.

චන්ද්‍රා ලියනගමගේ
කළමණාකරැ (ගමන උපදේශක හා විශේෂාංග ලේඛක)
සමෘද්ධි බැංකුව - පිණිකහන

සමෘද්ධි ප්‍රාදේශීය සංවිධාන පිහිටුවයි

     සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තු චක්‍රලේඛ විධි විධාන අනුව සමෘද්ධි ප්‍රජා මූල සංවිධාන හා එක්වෙමින් නියාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුල සමෘද්ධි ප්‍රාදේශීය සංවිධාන පිහිටු වීම පසු ගියදා සිදු කෙරුණි. ඒ අනුව පිටිගල සමෘද්ධි බැංකු සම්බන්ද ප්‍රාදේශීය සංවිධානය පිහිටුවීම කරව්ව නන්දන විහිරස්ථානයේදී සිදු කෙරැණි. පිටිගල බැංකු කළමණාකාර ජී.වී. නන්දනී මහත්මිය, සහකාර කළමණාකාර ධම්මික ජයසිංහ මහතා ඇතුලු වසම් භාර සමෘද්ධි සංවර්ධන නිලධාරි මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් මෙය සිදු විය. 

      මීට අමතරව මත්තක සහ නියාගම කොට්ඨාශ වලද ප්‍රජා සංවිධාන පිහිටුවීම සිදු විය. මත්තක ප්‍රජා සංවිධානය පිහිටුවීම බැංකු සංගම් ශාලාවේදීද, නියාගම ප්‍රජා සංවිධානය පිහිටුවීම නියාගම පුන්‍යවර්ධනාරාම විහාරස්ථානයේදීද සිදු කෙරැණි. මෙම අවස්ථාවන් සදහා නියාගම ප්‍රාදේශීය ලේකමි කාර්යාලයේ කළමණාකාර අධ්‍යක්ෂ සුමිත් කිත්සිරි මහතාද සහභාගී විය. මත්තක බැංකු කළමණාකාර කුමුදුනී මහත්මිය, නියාගම බැංකු කළමණාකාර ප්‍රියංකා කොඩිකාර මහත්මිය, සහකාර කලාප කළමණාකරුවන් වන නියාගම බී.එච්.ඒ. ප්‍රසන්න, මත්තක ඉරෝෂිකා ඩයස් යන මහත්ම මහත්මීන් සහ සමෘද්ධි සංවර්ධන නිළධාරීන් ඇතුළු ප්‍රජා සංවිධාන නියෝජිතයන් විශාල පිරිසක් මේ සදහා එක්ව සිටියහ.

බී.එච්.ඒ. ප්‍රසන්න
සමෘද්ධි සන්නිවේදක - නියාගම
සමෘද්ධි ළමා සමාජ සාහිත්‍යය තරගාවලිය

    කරන්දෙනිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ සමෘද්ධි කැකුළු ළමා සමාජ සංස්කෘතික හා සාහිත්‍යය කලාප තරග කලාප  මට්ටමින් පැවැත්විණි.

    මහඑදණ්ඩ කලාපය මඩකුඹුර බෝධිරාජාරාම විහාරස්ථානයේ ඌරගස්මන්හන්දිය කලාපය  ඩෙන්සිල් කොබ්බෑකඩුව විද්‍යාලයේ සහ කරන්දෙනිය කලාපය කරන්දෙනිය ජාතික පාසලේදී කලාප තරග පැවැත්වූ බව සමාජ සංවර්ධන නිලධාරී ටී.එච්.පී. ජයවර්ධන මහතා පැවසීය. 

    කරන්දෙනිය ප්‍රාදේශීය තරගාවලිය ජුලි 22 දා ප්‍රාදේශීය ලේකම් අයි.එස්. සමරකෝන් මහතාගේ උපදෙස් පරිදි කරන්දෙනිය ජාතික පාසලේදී පැවැත්විමට නියමිතය. මෙවර තරගාවලිය ළමයින්ගේ අන්තරීන දක්ෂතා වඩාත් ඉහළින් ඔපමට්ටම් වන අයුරින් සංවිධානය කිරීමට අවශ්‍ය විධිවිධාන සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව සලසා තිබිණි.

එල්.පී. වසන්ත කුමාර
සමෘද්ධි සන්නිවේදක - කරන්දෙණිය

Sunday, June 25, 2017

දුම්වැටි විරෝධි පළමු කොඩිය දිස්ත්‍රික් අධ්‍යක්ෂ තුමන්ට



   පසුගිය මැයි 31 දිනට යෙදෙුන දුම්වැටි විරෝධි කොඩි දිනය වෙනුවෙන් පුත්තලම සමෘද්ධි බැංකුව මත්ද්‍රව්‍ය හා දුම්වැටි වලින් වන හානිය පිලිබදව ජනාතාව දැනුවත් කිරීමේ වැඩසටහන් කීපයක් සංවිධානය කර තිබිණි.

    ඒ අතර  පසුගිය 31 දින බැංකු සාමාජිකයින් දැනුවත් කිරීමේ වැඩ සටහනක් තිබු අතර  ඒ සදහා පුත්තලම ප්‍රාදේශිය ලේකම් චන්දන වන්නිනායක මහතා දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ නාලක ප්‍රියශාන්ත මහතා බැංකු අධික්ෂණ ඒකකයේ කළමණාකරු ඉන්දික අරුණලාල් මහතා මුලස්ථාන කළමණාකරු උපුල් නයනානන්ද මහතා බැංකු සමිති කළමණාකරු ඩී.එම්. ධර්මවීර මහතා සහ කළාපයේ සියඵම  සමෘද්ධි සංවර්ධන නිලධාරින් එක්ව සිටියහ.

    කොඩි පැලදවීම සංකේතවත් කරමින් එහිදී ප්‍රථම කොඩිය බැංකු කළමණාකරු ඩබ්.එම්.එස්.කේ. වාසල මහත්මිය විසින් දිස්ත්‍රික් අධ්‍යක්ෂ තුමන්ට පැළදවීය.


චින්තන රත්නායක
ගමන සන්නිවේදක
පුත්තලම.

Friday, June 23, 2017

ඇලහැර සමෟද්ධි ප්‍රාදේශීය සංවිධාන පිහිටුවයි

     2013 අංක 01 දිවිනැගුම (සමෟද්ධි) පනතට අනුව ඇලහැර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ග්‍රාමීය මට්ටමින් ප්‍රජාමූල සංවිධාන පිහිටුවීම ප්‍රජාමූල බැංකු පාලක මංඩලය, විධායක සභා සහ ප්‍රාදේශීය සංවිධාන පිහිටුවා අවසන් කර සමෟද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවෙහි ලියාපදිංචි කිරීම් කටයුතු අවසන් කර අති අතර ඇලහැර ප්‍රාදේශීය ලේකම් තුමියගේ අධීක්ෂණය හා උපදෙස් මත මූලස්ථාන කළමණාකාර එස්.එම්. ගාමිණී කුමාර සිංහ,කළමණාකාර දුමින්ද සංජීව,රංජිත් තිලකසිරි මහත්වරුන් හා සියලුම සමෟද්ධි නිළධාරීන්ගේ සහයෝගය ඇතිව සිදුකර ඇති අතර ඉදිරියේදී සමාජ සවිබලගැන්වීම් සහ සුභ සාධන අමාත්‍යංශයේ චක්‍රලේඛ හා උපදෙස් අනුව ක්‍රියාත්මක වීමට නියමිතයි. 

කේ.එම්. වික්‍රමවංශ රාජපක්ෂ
ගමන සන්නිවේදක - ඇලහැර
වැඩකල නිලධාරින්ට ගමෙන් උපහාරය

    පසුගියදා ගංවතුරින් විපතට පත් මාවනාන ග්‍රාම නිලධාරී වසමේ අවතැන් වූ ජනතාව වෙත ක්‍රමවත්ව හා නිවැරදිව අාධාර උපකාර ලබාදීමට ඇප කැප වු මාවනාන විහාරස්ථානයටත් මාවනාන ග්‍රාම නිලධාරී අනුර ජයවර්ධන මහතාට සහ සමෘද්ධි සංවර්ධන නිලධාරී සුරාජ් ඉන්දික තලගහම මහතාටත් මාවනාන ප්‍රදේශවාසීන් විසින් බැනර් ප්‍රදර්ශනය කරමින් කල සේවය ඇගයීමට ලක් කරන ලදී. 

එච්.ජී.ඒ. ප්‍රසන්න
සමෘද්ධි සන්නිවේදක -
නෙළුව
නෙළුව ගංවතුරින් පීඩාවට පත් දරුවන්ට පොත්පත් හා නිල ඇදුම් 

     සමෘද්ධි සංවර්ධන නිලධාරී සුරාජ් ඉන්දික කලහගම මහතාගේ මැදිහත්වීම මත පසුගිය දා ගංවතුරින් පාසල් පොත් හා නිල ඇදුම් අහිමි වූ පාසල් ළමුන් සදහා පාසල් උපකරණ හා නිල ඇදුම් බෙදාදීමේ වැඩසටහනක් මාවනාන විහාරස්ථානයේදී කතරගම කිරිවෙහෙර විහාරාධිපති කොබවක ධම්මින්ද නා හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී. මේ අවස්ථාවට මාවනාන විහාරස්ථානයේ විහාරාධිපති තලංගල්ලේ සුමේධ හිමියන් සහ ග්‍රාම නිලධාරී අනුර ජයවර්ධන මහතා ද සහභාගී වන ලදී. 



එච්.ජී.ඒ. ප්‍රසන්න
සමෘද්ධි සන්නිවේදක -
නෙළුව

සමෘද්ධියෙන් ජීවිතය ජය ගත් චමිලා

ඡිවිතය ජයගත හැක්කේ දිරිය හා උත්සාහය ඇත්නම් පමණි. විවිධ අභියෝග හමුවේ නොසැලි ඉදිරියට යමින් සමෘද්ධි වයාපාරය හරහා නව මාවතකට ගමන් කරන මේ දිරිය කාන්තාව ගාල්ල දිස්ත්‍රික්කයේ ගෝනාපිනුවල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ අංක 406, ලුවිස් මාවත, ගලකුඹුර ගෝනාපිනුවල ලිපිනයේ පදිංචි චමිලා චාමරිය.

ඇය දරුවන් 04 දෙනෙකුගේ මවක් වන අතර සමෘද්ධි වැඩසටහන සමග බද්ධව ක්‍රියාකාරි ගමනක නිරත වෙමින් නව ආනාගතය සකස් කර ගැනිමට මහත් පරිශ්‍රමයක් දරන කාන්තාවකි.

චමිලා චාමරි මේ වන විට එළකිරි, දියර කිරි හා මී කිරි නිශ්පාදනය  ආරම්භ කර වසර 06ක් පමණ ආසන්නය. ඊට අමතරව ගෙවත්තේ පලා කොළ එළවළු වගාවද සිදුකරන අතර ඉන් නොනැවති සමෘද්ධි වැඩසටහන් මගින් හඳුන්වා දි ඇති ‘සෞභාග්‍යා’ වැඩසටහන් අලෙවි කටයුතු කරමින් දිරිය කතුන්  සියදෙනා අතරට පත් විමටද තම දිරිය ප්‍රගුණ කලාය.

2013 වර්ෂයේදී ‘සෞභාග්‍යා’ වැඩසටහනට අනුව යුනිලීවර් ආයතනය සමග එක්ව ආරම්භ කල අලෙවි වැඩසටහනේ සමාඡිකාවක් වී එහි නිෂ්පාදන ගෙයින් ගෙට අලෙවි කිරිම සිදුකරමින් වසරක් පසා ලබා දි ඇති ඉලක්ක සම්පුර්ණ කරමින් හොඳම දිරිය කතුන් සියදෙනා අතරට තෙරිපත්විය. ඒ වෙනුවෙන් ඇයට කුසලානයක් හා රු 30000/= ක මුදල් තයාගයක්ද අදාල ආයතනයෙන් ලබා දි ඇති අතර 2010 වසරේ ගාලු දිස්ත්‍රික්කයේ හොඳම ව්‍යවසායකයින්  දසදෙනා අතරටද තේරිපත් විය.

තම ව්යාසපාරය ගැන චමිලා චාමරි අදහස් දක්වන්නේ ඉතාමත් සතුටින්ය.

‘මම මේ ව්‍යාපාරය කරන්නේ හරිම සතුටින් ඉතාමත් පිරිසිදුවට දියර එළකිරි නිපදවලා අලෙවි කරනවා ඒ වගේම මී ගවයින්ගෙන් ලබා ගන්නා කිරි මුදවා බෝතල් කර විකුනණවා. මදි ප්‍රමාණයට මී කිරි අවටිනුත් මිළට ගන්නවා දවසකට මී කිරි බෝතල් 25 - 30 අතර නිපදවනවා එළ කිරි ලිටර් 30 පමණ මගේ එළදෙනුන්ගෙන් ලබා ගන්නවා. මේ හැම දේකටම මගේ මහත්තයා  තමයි උදවු කරන්නේ. ගෝනාපිනුවල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට අයත් ආරච්චිකන්ද සමෘද්ධි බැංකුව තමයි මගේ ගමනට දිරියක් වුනේ මේ වන විට මට රු  ලක්ෂයේ ණය මුදල පවා බැංකුව විසින් මා හට ලබා දි තිබේනවා. 

මේ වන විට ආරච්චිකන්ද සමෘද්ධි  බැංකුවේ පාලන මණ්ඩලයේ සභාපති හා ගෝනාපිනුවල සමෘද්ධි  බැංකු සමිතියේ විධායක සභාවේ සභාපති ලෙසද කටයුතු කරන චමිලා චාමරි ප්‍රදේශයේ විශාල සමිති සමාගම් ප්‍රමාණයක නිළතල දරමින් සමාජ මෙහෙවරද ඉටු කරනු ලබයි.

සුළුවෙන් ආරභා ඡිවිතය දිනන්න යැයි කියමනක් තිබේ චමිලා සිය ඡිවන දර්ශනය කරගෙන ඇත්තේ  එම කියමනයි. කිසිවෙකුට අත නොපා ජීවන ගමන යා හැකි ආර්ථික ශක්තිය ලබා ගන්නා සාධාරණ ක්‍රම උපායන් ඔස්සේ ඇගේ ගමන සකස් වි ඇත. හැල හැප්පිම් බාධක පැමිණියද ඇයට සිය ගමන නවත්වන්නේ නැත. ඇය දිගින් දිගටම සාර්ථකත්වය කරාම ගමන් කරයි.
‘ ගැහැණියකගේ අභිමානවත් බව දිරිය ශක්තිය මේ සියල්ල අපට කියාදෙන්නේ ඇයට ඕනැම අභියෝගයක් ජය ගත හැකි බවයි’

ප්‍රභාත් නිශාන්ත
සමෘද්ධි සංනිවේදක -
ගෝනාපීනූවල

Thursday, June 22, 2017

සමෘද්ධි කැකුළු ළමා සමාජයේ පොඩි හාමුදුරුවෝ

     කරන්දෙනිය මහඑදණ්ඩ දිනෙත් සමෘද්ධි කැකුළු ළමා සමාජයේ මාසික රැස්වීමට පසුගිය 14 දා ප්‍රධාන කාර්යාලය නියෝජනය කරමින් මම සහභාගී වුණා. රැස්වීමේ කටයුතු ගංගාතිලක විහාරස්ථ ධර්ම ශාලාවෙදි සවස 4 ට ආරම්භ කලා. පංසලේ වැඩවසන රාගම ශාසනාරාම පොඩි හාමුදුරුවෝ අපේ ළමයි අතර අසුන් ගත්ත. දැන් පොඩි හාමුදුරුවෝ හරි හරියට අපේ ළමයි එක්ක රැස්වීමේ. මම ප්‍ර්‍රශ්ණ අහනවා පිලිතුර දන්න අය අත ඔසවන්න කියනවා.පොඩි හාමුදුරුවෝ අත ඔසවා පිලිතුරක් දෙනවා.

     පොඩි හාමුදුරුවන්ගේ මේ ක්‍රියාව පිළිබඳ විහාරස්ථානයේ නායක ජගුල්ලේ සෝමාලෝක  හිමියන්ගේ අදහස විමසුවා. මහත්මයා රැස්වීම තියෙන්නේ පංසලේ නම් පොඩි හාමුදුරුවෝ රහතන් වහන්සේ නොවේ නම් පුංචි දරුව වයස මෝරනකොට භික්ෂු ශික්ශාවෙ පිහිටාවි. එතෙක් ඔහොම හොඳයි.
මේ මුළු රටපුරා ආදර්ශයක් වුනොත් ශාසනික හානියක් වේවිද? සංවාදයට විවෘතයි.


එල්.පී. වසන්ත කුමාර
සමෘද්ධි සන්නිවේදක - කරන්දෙණිය
සමෘද්ධියෙන් නෙත් ලද විහංගා දියණිය

   පුත්තලම සිරම්බිඅඩිය ගමේ උපත ලද සෙලෝමි විහංගා අවුරැදු තුනහමාරක දැරියකි. හදිසියේ ඇයගේ ඇසක ආභාදිත තත්ත්වයක් අැතිවු අතර  එය පරීක්ෂා කල වෛද්‍යවරු පැවසුවේ ඇයට කඩිනමින් සැත්කමක් කර කෘතිම ඇසක් බද්ධ කල යුතු බවත් ඒ සදහා රු. 65000.00 පමණ මුදලක් වැය වන බවත්ය.
එනමුත් ඉතාම දිළිදු තත්ත්වයක පසුවන ඇයගේ දෙමව්පියන්ට  හදිසියේ එතරම් මුදලක් සොයා ගැනීම ඉතාම දුෂ්කර කාර්යක් විය. එනමුත් දැරියගේ මව මේ සම්බන්ධයෙන් වසමේ සමෘද්ධි නිලධාරි එම්.එන්. ලරීප් මහතාව දැනුවත් කල අතර  ඉන්පසු පුත්තලම අතිරේක දිස්ත්‍රික් ලේකම් හා පුත්තලම ප්‍රාදේශිය ලේකම් චන්දන වන්නිනායක  මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මක වු  මුලස්ථාන කලමනාකරු උපුල් නයනානන්ද මහතා ප්‍රමුඛ සමෘද්ධි සංවර්ධන නිලධාරින්ට ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ   අනෙකුත් නිලධාරින්ගේද  සහයෝගය ඇතුව රු. 65000.00 මුදල කඩිනමින් එකතු කර ගැනීමට හැකිවිණි.

    2017.06.22 දින රිජ්වේ ආර්යා ළමා රෝහලේ සිදුකරනු ලබන සැත්කම වෙනුවෙන් අවශ්‍ය මුදල ප්‍රාදේශිය ලේකම් තුමා විසින් දැරියගේ මවට භාරදුන් අතර පුත්තලම සහකාර ප්‍රාදේශිය ලේකම් එස්.පි. වීරසේකර මහතා සහකාර සැලසුම් අධ්‍යක්ෂ ඩබ්. චතුරානි මෙනවිය පරිපාලන ග්‍රාම නිලධාරි එස්. මල්කාන්ති මහත්මිය මුලස්ථාන කලමණාකරු උපුල් නයනානන්ද මහතා සමෘද්ධි බැංකු සමිති කලමනාකරැ ඩී.එම්. ධර්මවීර මහතා  සමෘද්ධි සංවර්ධන නිලධාරි එම්.එන්. ලරීප් සහ සරත් එදිරිසිංහ යන අය මෙම අවස්ථාවට එක්ව සිටියහ.

චින්තන රත්නායක
ගමන සන්නිවේදක
පුත්තලම
ගාල්ල දිස්ත්‍රික් ගෘහස්ථ ආහාර නිෂ්පාදිකාවන්ගේ සංගමයේ නව ආහාර නිශ්පාදනාගාරය විවෘතවේ

    දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුව, සාරක් සංවර්ධන අරමුදල හා එක්ව ක්‍රියාත්මක කරනු ලබන ගාල්ල දිස්ත්‍රික්කයේ ග්‍රාමීය කාන්තාවන්ගේ  නිශ්පාදන හැකියාව හා ආර්ථික මට්ටම ඉහල නැංවීම තුලින් කාන්තාවන් සවිලබල ගැන්වීමේ වැඩසටහන් යටතේ ක්‍රීයාත්මක ගාල්ල දිස්ත්‍රික් ගෘහස්ථ ආහාර නිශ්පාදිකාවන්ගේ සංගමය තම ආහාර නිෂ්පාදන කටයුතු විධිමත්ව සිදු කිරීම සදහා නව නිශ්පාදනාගාරයක් ගාල්ල කිතුලම්පිටිය ප්‍රදේශයේදී ආරම්භ කරන ලදි.

     මෙම වැඩසටහන යටතේ ගාල්ල දිස්ත්‍රික්කය පුරා විසිරි පැතිරී සිටින ගෘහස්ථ අහාර නිශ්පාදිකාවන්ගේ නිශ්පාදන සභා ශ්‍රී ලංකා යන එකම නාමයක් යටතේ උසස් ප්‍රමිතියකින් යුතුව වෙළදපොලට ඉදිරිපත් කරන අතර ඒ තුලින් සුඵ පරිමාන කාන්තා ව්‍යාවසායකින් හුදෙකලා වීම අවම කොට ඔවුන් පොදු සංගමයක් ලෙස එක්කොට සවිබල ගන්වා ඇති අතර ඔවුන් තුල අන්තර් සම්බන්ධතා ගොඩ නැගීම තුලින් සාර්ථක ව්‍යාවසායකයින් බවට පත් කිරීමට අවස්ථාව සලසා ඇත. මෙම වැඩසටහන හා එක්ව සිටින ව්‍යවසායිකාවන් වෙත පුහුණු වැඩසටහන් පවත්වා ඇති අතර, ඒ තුලින් තම ව්‍යාපාර දියුණු කර ගැනීම සදහා අවශ්‍ය තාක්ෂණික දැනුම හා ව්‍යවසායකත්ව දැනුම වර්ධනය සදහා අවස්ථාව සලසා දි ඇත.

     මෙම වැඩසටහන එක්ව සිටින ව්‍යවසායිකාවන් විවිධ ආහාර නිශ්පාදන රාශියක් මේ වන විට වෙළද පොලට ඉදිරිපත් කරන අතර, ඔවුන් මේ සමඟම රාජ්‍ය අංශයේ මෙන්ම පෞද්ගලික අංශයේ ආයතන වල උත්සව අවස්ථාවන් මෙන්ම වෙනත් විශේෂ අවථාවන් වලදී අවශ්‍ය ආහාර ප්‍රමිතියකින් යුතුව පහසු මිල ගනන් යටතේ සැපයීමටද බලාපොරොත්තු වේ. එවැනි ඇනවුම් ලද වහාම මෙම ආහාර නිශ්පාදනාගාරය වෙත සියඵ සමාජිකයන් එක්ව එය සුදානම් කිරිමට අවස්ථාව සැලසීමද මෙම නව ආහාර නිශ්පාදනාගාරය ආරම්භ කිරිමේ තවත් අරමුණකි.

      දිවි නැගුම සංවර්ධන දෙපාර්තමෙන්තුවේ ගාල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය අධ්‍යක්ෂ කපිල මාසකෝරාල මහතා, සාරක් සංවර්ධන අරමුදලේ සභා ශ්‍රී ලංකා ව්‍යාපෘතියේ ව්‍යාපෘති කළමණාකරු දිනුෂ රාජපක්ෂ මහතා ගාල්ල දිස්ත්‍රික් කෘෂිකර්ම දෙපාර්තමෙන්තුව, කාන්තා සවිබල ගැන්වීමේ අමාත්‍යංශයේ නිළධාරි මහත්ම මහත්මීන් ඇතුඵ සම්භාවනීය අමුත්තන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වු අතර ගාල්ල දිස්ත්‍රික් ගෘහස්ථ ආහාර නිෂ්පාදිකාවන්ගේ සංගමයේ සමාජික සමාජිකාවන් රැසක් මෙන්ම ප්‍රදේශවාසින් විශාල පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වි සිටියහ

ඩී.ඒ.පී සුරංජිත්
දිස්ත්‍රික් සමෘද්ධි සන්නිවේදක -
ගාල්ල