Friday, September 15, 2017

කරන්දෙනිය අධ්‍යාත්මික සංවර්ධන වැඩසටහන


    කරන්දෙනිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සමෘද්ධි සමාජ සංවර්ධන පදනමේ පූර්ණ දායකත්වය මත කරන්දෙනිය ජාතික පාසලේ පවත්වනු ලබන අධ්‍යාත්මික සහ ආකල්ප සංවර්ධන වැඩසටහන් මාලාවේ තවත් අදියරක් පසුගියදා විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී පැවැත්විණි.

   සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ සමාජ සංවර්ධන අංශයේ අනුග්‍රහය සහ මෙහෙයවීම මත රටපුරා ක්‍රියාත්මක මෙම වැඩසටහන යටතේ කරන්දෙනිය මහඑදණ්ඩ සමෘද්ධි කලාපයේ වැඩසටහන සදහා කරන්දෙනිය ජාතික පාසල තෝරා ගන්නා ලදි.

    ඒ යටතේ කරන්දෙනිය ජාතික පාසලේ 06 වසර සිට 13 වසර දක්වා පන්තිවල දරුවන් 3500ක් වෙනුවෙන් දින 07ක් තුල විචිත්‍ර ධර්ම කථික පූජ්‍ය පණ්ඩිත පිටිගල ධම්මවිනීත හිමියන් සහ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ටී. ප්‍රනීත් මහතාගේ සම්පත් දායකත්වය මත ළමා මානසික සෞඛ්‍යය සහ අමතර පන්ති ක්‍රමය අධ්‍යාපනය සදහා කරන බලපෑම් කෙසේද? යන කාරණය පදනම් කොට මෙම වැඩසටහන පැවැත්වෙයි.

   විද්‍යාලයීය ගුරු මණ්ඩලය සහ දෙමාපියන් නිවාඩු කාලයේදී පවා මේ පිළිබඳව උනන්දුවෙන් අවධානය යොමු කොට නිතර විමසීම් කලබව විදුහල්පති ශාන්ත ආරියරත්න මහතා මෙම අවස්ථාවට සහභාගී වෙමින් වැඩසටහන අගය කරමින් පැවසීය.  

එල්. පී. වසන්ත කුමාර
සමෘද්ධි සන්නිවේදක
කරන්දෙණිය

No comments:

Post a Comment