Thursday, August 9, 2018

උද්ඝෝෂණය කිරීමෙන් සමෘද්ධි සේවක ගැටලු විසඳෙනවානම් උද්ඝෝෂණයට මාත් එනවා


  උද්ඝෝෂණය කිරීමෙන් සමෘද්ධි නිලධාරින් සම්බන්ධයෙන් උද්ගත වී ඇති සේවක ගැටලු විසදෙන්නේ නම් තමා ද එවැනි ඕනෑම උද්ඝෝෂණයකට එක්වන බවත්, අමාත්‍යධූරය ලබා ඉතා කෙටි කාලයක් තුළ මෙම සේවක ගැටලු විසඳීටම අදාල පාර්ශවයන් සමඟ සාකච්ඡා කළ ද අධිකරණයේ නීතිමය කටයුතු කිහිපයක් හේතුවෙන් ගැටලුකාරී තත්ත්වයක් ඇති වී ඇති බවත් සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය පී. හැරිසන් මහතා පවසයි.

   මාතර, වැලිගම නගර ශාලාවේ දී පැවති දිස්ත්‍රික් සමෘද්ධි නිලධාරී හමුව අමතමින් අමාත්‍යවරයා පහුගියදා මේ බව පැවසීය. එහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා. අවුරුදු 20 – 23ක් වැඩ කරපු නිලධාරින්ට දැන් තියෙන ප්‍රශ්නය තමයි, තම තමන්ගේ අනාගතයට මොකද වෙන්නේ කියන කාරණාව. සමෘද්ධි නිලධාරින්ට තවම විශ්‍රාම වැටුපක් නෑ. නිසි වැටුපක් නෑ. බලය හිමි දේශපාලන පක්‍ෂ සමෘද්ධි නිලධාරින්ගෙන් දේශපාලන වාසි ලැබුවා මිසක් සමෘද්ධි සේවක ප්‍රශ්න විසදන්න කටයුතු කළේ නෑ.

   අපි මේ අමාත්‍යාංශය භාරගෙන මාස දෙකයි. මේ මාස දෙක ඇතුළත අවස්ථා තුනක දී අපි සමෘද්ධි සේවක ප්‍රශ්න විදසන්න අදාල ආයතන ඒක්ක මූලික සාකච්ඡාවක්පැවැත්වූවා. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය, ස්වදේශ කටුයුතු අමාත්‍යාංශය, විශ්‍රාම වැටුප් දෙපාර්තමෙන්තුව, වැටුප් හා සේවක කොමිෂන් සභාව ඒ ආයතනයි. මේ වන විට සමෘද්ධි සේවක ප්‍රශ්න විසඳන්න කැබිනට් මණ්ඩලයට කැබිනට් පත්‍රිකා 5ක් ඉදිරිපත් කර තිබෙනවා. 

   සමෘද්ධිලාභීන්ව සතුටු කරන්න ඉස්සර වෙලා සමෘද්ධි නිලධාරින්ගේ සේවක ප්‍රශ්න විසදිය යුතුව තිබෙන බව මම අවබෝධ කරගෙනයි තියෙන්නේ. මේ සේවක ප්‍රශ්න ගැන දැනට අධිකරණයේ නඩු 2ක් තියෙනවා. නීතිපතිතුමා කියලා තියෙන්නේ ‍ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු කටයුතු විභාගය අවසන් වන තෙක් තීන්දු ගන්න එපා කියලයි. ඒක කැබිනට් මණ්ඩලයට නීතිපතිතුමන් දැනුම් දීලා තියෙනවා. නීතිපතිතුමන්ගේ ඒ දැනුම් දීම මත විශ්‍රාම වැටුප් අධ්‍යක්‍ෂ ජනරාල්වරයාත් වැටුප් හා සේවක කොමිෂන් සභාවත්, රාජ්‍ය සේවා කොමිසමත් අදාල ආයතනත් බලා ඉන්නේ මේ නඩු තීන්දුව එනකල්. ඒ නිසා මේ නඩු තීන්දුව එන තෙක් ඒ නිලධාරීන් තීන්දු තීරණ නොගෙන ඉන්නවා. අධිකරණයේ යම් නඩු කටයුත්තක් තියෙනවානම් ඒකට තීන්දු තීරණ විසඳුම් තිබිය යුතුමයි.

   සමෘද්ධි සේවක ප්‍රශ්න විසඳීමේ දී දේශපාලන වාසි අවශ්‍ය වන්නේ නෑ. මේ ඇමතිකමෙන් යන්න කලින් සමෘද්ධි සේවක ප්‍රශ්නවලට හරිහමන් විසඳුමක් දීලා සමෘද්ධි නිලධාරීන්ගේ රැකියා ස්ථිර කරලා විශ්‍රාම වැටුපක් හදලා දීලා තමයි ඇමතිකමෙන් යන්නේ යැයි ද අමාත්‍යවරයා මෙහි දී පැවසීය.

  මෙම අවස්ථාව සඳහා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශයේ ලේකම් ශිරානි වීරකෝන්, සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් ජේ. දඩල්ලගේ, අමාත්‍ය උපදේශක ලෙස්ලි තිසේරා යන මහත්ම මහත්මින් ඇතුළු නිලධාරින් රැසක් සහභාගී වූහ. 

No comments:

Post a Comment