Friday, October 27, 2017

කරන්දෙනිය SMART සමාජ කව ඇරැඹෙයි


    තොරතුරු තාක්ෂණ සහ ඩිජිටල් පහසුකම් සංවර්ධන අමාත්‍යාංශයේ ජාතික තොරතුරු තාක්ෂණ නියෝජිතායතනයේ මෙහෙයවීමෙන් රටපුරා තෝරාගත් ග්‍රාම නිළධාරී වසම් ප්‍රමාණයක් සදහා පලමු වටයේදී ලබාදීමට නියමිත smart සමාජ කව ආරම්භ කිරීමේ වැඩසටහන යටතේ කරන්දෙනිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ග්‍රාම නිළධාරී වසම් 5ක් ආවරණය වන පරිදි සමාරම්භක උත්සව මේ දිනවල ඉතා උසස් අන්දමින් පැවැත්වෙමින් තිබේ.

   ඒ අනුව මහඑදණ්ඩ සමෘද්ධි කලාපයේ 92A මඩකුඹුර වසමේ SSC කවය ආරම්භ කිරීම මඩකුඹුර ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථ සිරි අභයතිස්ස මහ පිරිවෙන්පති පූජ්‍ය පණ්ඩිත ගිනිගල්පෙදෙසේ සුධ්ම්ම හිමියන්ගේ සහ කරන්දෙනිය පොළිස් ස්ථානාධිපති ප්‍රසන්න ඇල්ගිරිය මහතාගේ ප්‍රධානත්වයෙන් විහාරස්ථ ධර්මශාලා පරිශ්‍රයේදී පසුගියදා සිදුකෙරිණි.

    ගමේ වත්කම් සහ ශක්තීන් අන්තර්ජාලය භාවිතයෙන් ලෝකයට නිරාවරණය කරමින් පුද්ගල සංවර්ධනයට සහ සමාජ ප්‍රගමනයට හේතුවන ජාත්‍යන්තර තත්ත්වයන් ගමට හදුන්වාදීම අරමුණ කොට මෙම වැඩසටහන ග්‍රාම නිළධාරීගේ භාරකාරත්වය යටතේ සමෘද්ධි සංවර්ධන නිලධාරී, ආර්ථික සංවර්ධන නිලධාරී, කෘෂිපර්යේෂණ නිලධාරී සහ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීණී යන වසමේ රාජ්‍ය සේවා සම්බන්ධීකරණ නිලධාරීන් ඇතුළු විශේෂ පුහුණුවීමක් ලැබූ ගම්වැසියන් 5 දෙනෙකු සහිත දස දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් මෙම අන්තර්ජාල ෆේස්බුක් ගිණුම යාවත්කාලීන කරමින් මෙතැන් සිට ඉදිරියට පවත්වාගෙන යන බවත් එම පුහුණු කණ්ඩායම හරහා ඕනෙම කෙනෙකුට මෙම අන්තර්ජාල පහසුකම ලබාගත හැකියාව ඇතිබවත් මෙහිදී ප්‍රකාශ විය.

   මෙම විහාරස්ථානයේ නැණසල පරිඝණක මධ්‍යස්ථානය පැවැතීම ඉතා වැදගත් මෙන්ම අගනා පහසුකමක් බවත් අදාල කටයුතු සාර්ථකව පවත්වාගෙන යාමට විහාරස්ථානයේ සියළු සම්පත් සුදුසු පරිදි භාවිතා කලහැකි බවත් විහාරාධිපති හිමියන් ප්‍රකාශ කල සේක.

එල්.පී. වසන්ත කුමාර
සමෘද්ධි සන්නිවේද
කරන්දේණිය

No comments:

Post a Comment