Friday, June 9, 2017

හිසට වහලක් - හිතට නිවනක්  තනා දුන්නද නැත නිමක්

   දිරිය පියස නිවාස වැඩ සටහන සමෘද්ධි ප්‍රතිලාභී අසරණ ජනයාට හිසට නිවහනක් උරුම කර දෙන තවත් එක් වැඩසටහනකි.මෙම වැඩසටහන යටතේ  ගාල්ල දිස්ත්‍රික්කය තුළ 2017 වර්ෂෙය්දී ඉඳි කිරීමට  තෝරා ගෙන ඇති නිවාස ගණන 38 කි. ඊට අමතරව ආබාධිත නිවාස වැඩසටහන යටතේ ද එක් නිවසක් ඉඳි කිරීමට තෝරා ගෙන ප්‍රතිපාදන ලබා දී  ඇත.
    පසුගිය දිනෙක දිස්ත්රිටක්  සමෘද්ධි අංශයට පැමණි එක්තරා මවක් 2016 වර්ෂයේ මෙම වැඩසටහන යටතේ නිවසක් ලබා ගත් තැනැත්තියකි. ඇය නමින් ඩේසි රම්යාි නම් වන අතර යක්කලමුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පොල්පගොඩ සමෘද්ධි බැංකුවට අයත් තෙල්ලඹුර ග්‍රාම නිලධාරී වසමේ පදිංචි තැනැත්තියකි. 
    ඇය මෙලෙස දිස්ත්‍රියක් අධ්‍යක්ෂ තුමිය හමුවේ සිය දුක්ගැනවිල්ල ඉදිරිපත් කළාය.    “අනේ මැඩම් මට පෙර පාාසල් යන දුවක් ඉන්නවා.මහත්තයා මාව දාල ගිහිං. මගේ වයසක අම්මයි රෝගාතුර වෙලා ඉන්න තාත්තයි ඉන්නෙත් මාත් එක්ක. අපිට සමෘද්ධියෙන් ගෙයක් හදලා දුන්නා. ටොයිලට් එක හදාගන්නත් රු15000/= ක් දුන්නා සමාජ සංවර්ධන පදනමෙන්. ඒත් මැඩම් මගේ ගෙදරට ලයිට් නෑ. දරුවට පාඩම් වැඩ කර ගන්නත් අමාරුයි. මමත් කොන්දෙ අමාරුවක් හැදිලා බෙහෙත් බොනවා. රස්සාවක් කර ගන්නත් අමාරුයි. අපි ජීවත් වෙන්නේ සමෘද්ධියෙන් ලැබෙන මුදලින් විතරයි. පිං සිද්ධ වෙයි මැඩම් ලයිට් ගන්න උදව් කරන්න”
    ඇය සනසා ලූ දිස්ත්‍රික් අධ්‍යක්ෂ තුමිය පසු ගිය දින ඇය ජීවත්වන නිවස සොයා තෙල්ලඹුර ග්‍රාමයට ගියේ හිස් අතින්නම් නොවේ. දරුවාටත් මවටත් අවශ්‍ය ඇඳුම් මෙන්ම වියලි ආහාර මල්ලක් ද රැගෙන ගියේ අධ්‍යක්ෂතුමියගේම වියදමිනි. යනවිට එම මව කුඩා දියණිය ද සමඟ බත් මුට්ටියක් ලිප තබමින් පසු වූවාය. තොරතුරු විමසන විට දැන ගන්නට ලැබුනේ දින 3 ට පෙර පියා රෝහල් ගත කර ඇති බවත් බෙහෙත් සඳහා මුදල් වියදම් වූයෙන් දින දෙකක් කැඳ පමණක් පානය කර පසුවූයෙන් එය දැනගත් පෙර පාසල් පාලිකාව දුන් මුදලින් දරුවාට බත් වේලක් ලබා දීට සූදානම් වන බවයි.
     රැගෙන ගිය දෑ ඇයට දහසක් වටිනා දේ වුවද දරුවාට පොත් තබා ගැනීමට මේසයක්, නිදා ගැනීමට ඇඳක් හෝ නොතිබුණි. යලිත් දිනෙක එකී අඩුපාඩු සපුරා දීමට ගත් තිර අදිටනින් සමෘද්ධි අධ්‍යක්ෂ තුමිය නැවතත් එම නිවසින් නික්මුනේ ප්‍රධාන අඩුපාඩුවක්ව ඇති විදුලිය ලබා ගැනීම සඳහා ද අවශ්‍ය පියවර ඇය වෙත දැනුම් දීමෙනි.

ප්‍රියන්ත කුමාර කාරියවසම්
දිස්ත්‍රික් විශේෂ සන්නිවේදක

No comments:

Post a Comment