Wednesday, September 27, 2017

සමෘද්ධි කැකුළු ළමා සමාජයේ රසවින්දනාත්මක වැඩ සටහනක්


   රසවින්දනාත්මක ජීවන රටාවක් තුලින් ළමා මනස ගොඩ නගමු මැයෙන් ළමා සමාජ ඒකරාශී කරගනිමින් රසවින්දනාත්මක වැඩ සටහනක් පසුගියදා නියාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අමරගම ග්‍රාම නිළධාරී වසමේ සමෘද්ධි කැකුළු ළමා සමාජය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වුණි. අමරගම ශ්‍රි අමරසිරි දහම් පාසලේදී පැවැත් වූ මෙම වැඩ සටහන සදහා දෙමව්පියන්ද විශාල පිරිසක් සහභාගී විය.

    ළමා සිත් සතන් තුලින් ගිලිහී යන සමාජ සාරධර්ම රැකගැනීම  සහ මව්පිය ගුනයන් තවතවත් වර්ධනය කරගන්නා අයුරු පිළිබදව රසවින්දනාත්මකව සහ එය ළමා මනසට තදින් කා වදින සේ ඉදිරිපත් කිරීමට මෙම වැඩ සටහනේ ප්‍රදාන සම්පත් දායකත්වය ලබා දුන් නියාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කරන සංවර්ධන නිළධාරී සංගීත විශාරද සශිකා වීරසිංහ මෙනෙවිය සමත් වූවාය. සිය අත්දැකීම් සහ දැනුම හැකියාව ප්‍රයෝජනයට ගනිමින් ඇය සහභාගි වූ දරු දැරියන් පමනක් නොව දෙමව්පියන්වද මොහොතකට දැහැන් ගත කිරීමට සමත් වූවාය. දහම් පාසැලේ ප්‍රධානාචාර්ය ප්‍රියන්ත ජයසිංහ මහතා ඇතුළු ආචාර්ය මන්ඩලය සහ දෙමව්පියන් වැඩ සටහන අවසානයේදී ලබා දුන් ප්‍රතිචාර මගින් එය මනාව තහවුරු විය.

     ඈත අතීතයේ ආදර අම්මා විසින් දරු නැළවිළි ගී ගයා තම ආදර දියනිය සහ පුතනුවන් නැළවූ ආකාරය එම ගීත ගයමින්ම ඉදිරිපත් කළ මොහොත සැමට ඉතා සංවේදී අවස්ථාවක් විය. නමුත් වර්තමාන සමාජයේ එම තත්වය ගිලිහී ගොස් කුඩා ළමයා පවා වේග රිද්ම ගීත ඇසීමට පුරුදු කොට ළමයා නිදිකිරීමට පවා එය උපයෝගී කරගැනීමට වර්ථමාන මව්පියන් පුරුදු වී ඇති බව ඇය පෙන්වා දුන්නේ දැඩි කනගාටුවකිනි.

    මෙම රසවින්දනාත්මක වැඩ සටහන  සාර්ථක කර ගැනීම සදහා ළමා හිමිකම් ප්‍රවර්ධන නිළධාරී ඉරේෂා ගමගේ මහත්මිය, බෞද්ධ කටයුතු සමායෝජක මල්කාන්තී මහත්මිය දැඩි කැපවීමක් සිදු කරන ලදි. එසේම දහම් පාසලේ ප්‍රධානාචාර්ය ප්‍රියන්ත ජයසිංහ මහතා ඇතුළු ආචාර්ය මන්ඩලය මේ සදහා සිය උපරිම සහයෝගය ලබා දුනි. අමරගම වසමේ සමෘද්ධි සංවර්ධන නිළධාරී බී.එච්.ඒ. ප්‍රසන්න මහතා සංවිධානය කල මෙම වැඩ සටහන සදහා ග්‍රාම නිළධාරී කමල් ප්‍රසන්න මහතාගේද සහයෝගය ලැබුණි.

බී.එච්.ඒ. ප්‍රසන්න
සමෘද්ධි සන්නිවේදක
නියාගම

No comments:

Post a Comment