Wednesday, October 4, 2017

දෙටුවර අභිමන් දැනුම මිණුම තරඟාවලියේ සමස්ථ ලංකා ශූරතාවය ගාල්ල දිස්ත්‍රික්කයට.......



   ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලය සහ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව ඒකාබද්ධව ලෝක වැඩිහිටි දිනය තේමා කර ගනිමින් දීප ව්‍යාප්තව පවත්වන  ලද සමෘද්ධි කැකුළු ළමා සමාජ දැනුම මිණුම තරඟාවලියේ සමස්ථ ලංකා ශූරතාවය දකුණු පළාත නියෝජනය කරමින් එම තරඟාවලියට ඉදිරිපත් වූ ගාල්ල දිස්ත්‍රික්කයේ  බෝපේ පෝද්දල  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දැනුම මිණුම කණ්ඩායම විසින් දිනා ගන්නා ලදි.

   මෙම තරඟාවලියේ මුල් අදියර දිස්ත්‍රික් මට්ටමින් පැවති අතර එහිදී ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 14 කින් කණ්ඩායම් ඉදිරිපත් වූ අතර එහිදී ලකුණු 195 ක් ලබා ගනිමින් එම කණ්ඩායම දෙවෙනි අදියර ලෙස පැවැත් වූ දකුණු පළාත් තරඟාවලියට සුදුසුකම් ලබන ලදි. පළාත් තරඟාවලිය නියෝජනය කිරීම සඳහා ගාල්ල දිස්ත්‍රික්කයෙන්  අක්මීමන සහ ඉමදූව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වල කණ්ඩායම් ද අවස්ථාව ලබා ගන්නා ලදි.



    දකුණු පළාත් තරඟාවලිය සඳහා ගාල්ල මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්ක වලින් කණ්ඩායම් 03 බැඟින් කණ්ඩායම් 09 ක් සහභාගී වූ අතර එහි අවසන් පූර්ව වටයට තේරී පත් වූ කණ්ඩායම් 4 ට ගාල්ල දිස්තික්කයේ කණ්ඩායම් තුනම තේරී පත් වීම විශේෂත්වයක් විය. එහිදී වැඩිම ළකුණු ලබා ගනිමින් ජාතික තරඟාවලිය සදහා ඉදිරිපත් වීමේ අවස්ථාව බෝපේ පෝද්දල කොට්ඨාශ කන්ඩායම විසින්  හිමි කර ගන්නා ලදි.

   ඒ අනුව පසුගිය  සැප්තැම්බර් 25 වන දින බත්තරමුල්ල සෙත්සිරිපාය දෙවන අදියර ශ්‍රවණාගාරයේ දී පැවැත් වූ අවසන් තරඟාවලියේදී පළාත් 09 නියෝජනය කරමින් සහභාගී වූ කණ්ඩායම් සියල්ල පරදා සමස්ත ලංකා ශූරතාවය ගාල්ල දිස්තික්කයට හිමි කර ගැනීමට එම කණ්ඩායම සමත් වී ඇත. ඔවුන් හමුවේ අවසන් තරඟයට මුහුණ දී අනුශූරයන් බවට පත් වූයේ සබරගමු පළාත නියෝජනය කළ රත්නපුර දිස්ත්‍රික් කන්ඩායමයි.

   මෙම ජයග්‍රහණය ගාල්ල දිස්ත්‍රික්කයට හිමිකර දීමට  කැපවූ සමෘද්ධි කැකුළු ළමා සමාජ දරු දැරියන්ටත් ඒ සඳහා වෙහෙස වී කටයුතු කළ නිලධාරීන්ටත් ගමන අපගේ කෘතවේදීත්වය පිරිනමමි.

ප්‍රියන්ත කුමාර කාරියවසම්
ගමන විශේෂාංග වාර්තාකරු

No comments:

Post a Comment