Tuesday, November 14, 2017

නියාගම හරිත උයන පාසැල් දරුදැරියන් සමගින් පෝද්දිවෙල දී


    රිසරය හා මිනිසා අතර ඇත්තේ සමීප සබදතාවයකි.වනාන්තර, වැව් පොකුණු, ඇල දොළ, ගංගා ස්වභාව ධර්මයෙන් අප හට ලැබුණු දායාදයන් වේ. අතීතයේ සිට අපගේ මුතුන් මිත්තන්ගේ සිට සියවස් ගණනක් මෙම දායාදයන් ආරක්ෂා කලේ අනාගත පරපුර වෙනුවෙනි. එදා එක් ගසක් කපන විට ගස් සිය ගණනක් සිටුවීමට ඔවුන් අමතක කලේ නැත. නමුත් වර්තමානයේදී සිදුවන්නේ එහි අනෙක් පැත්තය. එක් ගසක් කපන විට තවත් ගස් සිය ගණනක් පොලවට පතිත වන්නේ අපගේ අනාගතය පිළිබද බියකරු සිහින මවා පාමිණි. 

   රටේ සෑම තැනකම වන විනාශය සිදුවන ආකාරය පිළිබදව මාධ්‍ය තුලින් දකින්නට අසන්නට ලැබේ. එම කපා දමන වෘක්ෂලතා වෙනුවට එක පැළයක් හෝ සිටුවීම සමාජ වගකීමක් සේ අප දකී. එසේ නොවේ නම් අපගේ අනාගත පරපුරට ඉතිරි වන්නේ කාන්තාරයකට සමාන භූමියකි. 

   ඒ අනුව එම සමාජ වගකීම භාරගන්නට සමෘද්ධි දෙපාර්තමේන්තුව කටයුතු සැලසුම් කරන ලදි. අතිගරු ජනාධිපති⁣ මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ වන රෝපා වැඩ සටහනට සමගාමීව සමෘද්ධි හරිත උයන වැඩ සටහන ආරම්භ විය. දිවයිනේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකම මෙම වැඩ සටහන ක්‍රියාත්මක කිරීමට උපදෙස් ලැබී තිබූ අතර, එය මේ වන විට ඉතා සාර්ථකව ක්‍රියාත්මක වන වැඩ සටහනක් බවට පත්ව ඇත. 

  ඒ අනුව නියාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ වැඩ සටහන ගා/පෝද්දිවල නවෝද්‍යා විද්‍යාල භූමියේදී ක්‍රියාත්මක විය. නියාගම ප්‍රාදේශීය මහ ලේකම්  නිලංගී ඩයස් මහත්මියගේ මගපෙන්වීම යටතේ සමෘද්ධි සමාජ සංවර්ධන පදනම මගින් මෙම කටයුත්ත සංවිධානය කර තිබුණි. මහා සංඝරත්නයේ ආශීර්වාදය සහිතව හරිත උයන සදහා තෝරාගත් බිමෙහි පැළ රෝපනය සිදුකෙරුනි. වල්බිහිවී තිබූ මෙම භූමි භාගය මදුරු කීටයන් බෝ වන ජලය බැස නොයන වලකින්ද සමන්විත විය. නමුත් සමාජ සංවර්ධන සහකාර චරිත් අසේල මනෝරත්න මහතාගේ දැඩි උත්සාහය මත අද වන විට එම භූමි භාගය අලංකාර උයනක් බවට පත්ව ඇත. මදුරුවන් බෝ වූ එම වල අද පොකුනක් බවට පත්ව ඇත. 

   පෝද්දිවල නවෝද්‍යා විද්‍යාලයේ විදුහල්පති සුමිත් දමයන්ත මහතාගේ සහයෝගය මේ සදහා නොඅඩුව ලැබුනි. සහකාර අධ්‍යක්ෂ ශාන්ත ද සිල්වා, මූලස්ථාන කළමණාකාර ප්‍රියංකා කොඩිකාර කළමණාකාර අධ්‍යක්ෂ සුමිත් කිත්සිරි යන මහත්ම මහත්මීන් විසින් හරිත උයන නාම පුවරුව නිරාවරණය කිරීම සිදු කෙරුනු අතර පැල සිටුවීමද ඔවුන් ඇතුළු පාසැල් සිසු දරු දැරියන් අතින් සිදු කෙරුනි. 

  ඉන් අනතුරුව පැවති කෙටි උත්සව සභාවේදී අදහස් දැක් වූ සැම දෙනා වනාන්තර පිටින් විනාශවෙන මෙම වකවානුවේදී හරිත උයන වැඩ සටහන යටතේ මෙවන් සමාජ සද්කාර්යයන් ඉටු කිරීම පිළිබද ප්‍රසංශා මුඛයෙන් කථා කරන ලදි. විද්‍යාලීය විදුහල්පති තුමා සහ ආචාර්ය මණ්ඩලය, පිටිගල සමෘද්ධි බැංකු කළමණාකාර ජී.වී. නන්දනී, මත්තක සමෘද්ධි බැංකු කළමණාකාර කුමුදු යන මහත්මීන්ද, ආර්ථික සංවරිධන නිළධාරීන්, ග්‍රාම නිලධාරීන්, සමාජ සංවර්ධන සහකාර දයාල් ප්‍රියන්ත මහතා ඇතුළු සමෘද්ධි සංවර්ධන නිළධාරීන් සහ විද්‍යාලයේ සිසු දරු දැරියන් විශාල පිරිසක් මේ අවස්ථාවට එක් වූහ.

බී.එච්.ඒ. ප්‍රසන්න
සමෘද්ධි සන්නිවේදක
නියාගම

No comments:

Post a Comment