Friday, October 19, 2018

සමෘද්ධි සිප් දෙර ශිෂ්‍යත්ව දීමනාව ලබන්නන් 20,000 දක්වා ඉහලට

 අනාගත පරපුර දැනුමින්, අවබෝධයෙන් සපිරි පිරිසක් බවට පත්කරලීමට සිප්දොර ශිෂ්‍යත්වය අමිල කොටස්කරුවකු වී ඇති බවත්, එය ආර්ථික අපහසුතා මත පාසල් ගමනට තිත තැබූ දරුවන් නැවත පාසල් අධ්‍යාපනයට යොමු කරවීමට ගන්නා ලද සාර්ථක වෑයමක් බවත් සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය පී.හැරිසන් මහතා පවසයි.

   සැමගේ ජීවිතයට දැක්මක් අත්‍යාවශ්‍ය බව පැවසූ අමාත්‍යවරයා ජීවිතයේ සාර්ථකත්වයට ඉල්ක්ක කර හඹා යා යුතු බවද පැවසීය. අමාත්‍යවරයා මේ බව පැවසූයේ අනුරාධපුර යොවුන් නිකේතනයේදී පසුගිය දා පැවති දිළිඳුකම පිටුදැකීම සඳහා මානසික සෞඛ්‍ය සම්පන්න තරුණ ප්‍රජාවකගේ සහභාගීත්වය ප්‍රවර්ධනය කිරීම උදෙසා පැවති ජීවිතයට දැක්මක් සම්මන්ත්‍රණය අමතමිනි.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,තරුණ ශක්තිය තමයි රටේ ශක්තිය. ඒ බව හඳුනාගත් එක්සත් ජාතික පක්ෂය, තරුණ සේවා සභාව, යොවුන් සේනාන්කය ඇතිකළා. තරුණයන්ට ගමේ නායකත්වය ගෙන කටයුතු කරන්න අපි පදනම දැම්මා. විනයක්, හික්මීමක් ඇති, ගුණගරුක තරුණ ප්‍රජාවක් ගමෙන් බිහිකිරීම අපේ අරමුණයි.

   අපේරටේ අනාගතය රටේ අධ්‍යාපනයයි. අපිට වෙන විකුණනන්න දෙයක් නැතිවෙයි. අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් උසස් ප්‍රතිඵල ලැබූ සමෘද්ධි ප්‍රතිලාභි දරුවන්ට උසස් අධ්‍යාපනය වෙනුවෙන් මූළ්‍යාධාර සැපයීමට සමෘද්ධි වැඩසටහන කටයුතු යොදා තිබෙනවා. ආර්ථික දුෂ්කරතා නිසා, උසස් අධ්‍යාපන අවස්ථා ගිලිහී යාමට ඉඩ නොදී දරුවාගේ අනාගත අධ්‍යාපනය සිප්දොර ශිෂ්‍යත්වයෙන් සුරක්ෂිත වෙනවා. මෙයින් සමෘද්ධි පවුල්වල දරුවන් වැඩි සංඛ්‍යාවකට උසස් අධ්‍යාපනවරම් හිමි කර ගැනීමට හැකිවී තිබෙනවා.

    සමෘද්ධි අමාත්‍යවරයා ලෙසට පත්ව එන විට, සිප්දොර ශිෂ්‍යත්ව හිමිකම් ලැබී තිබුණේ දසදහසක (10,000) ක පිරිසකට පමණයි.මම එය පහලොස්දහස (15,000) දක්වා වැඩි කළා. ලබන වසරේදී සිප්දොර ශිෂ්‍යත්ව සංඛ්‍යාව විසිදහසක් (20,000) දක්වා වැඩි කිරීමට මම උපදෙස් ලබාදී තිබෙනවා.
ජාතික තරුණසේවා සභාව, සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව හා ජාතික සමාජ සංවර්ධන ආයතනය එක්ව මෙම සම්මන්ත්‍රනය සංවිධානය කොට තිබුණි.

  වෛද්‍ය චමින්ද සිරිවර්ධන, මහාචාර්ය දයා අමරසේකර, ජගත් කීර්තිරත්න යන මහත්වරු විසින් දේශන පවත්වන ලදී.

  සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශයේ ලේකම් ශිරාණි වීරකෝන්, සමාජ ආරක්ෂණ මණ්ඩලයේ සභාපති සෝමචන්ද්‍ර ජයකොඩි, ජාතික සමාජ සංවර්ධන ආයතනයේ ජනරාල් ශාමිණි අත්තනායක යන මහත්ම මහත්මීන් රැසක්ද මෙම අවස්ථාවට එක්වූහ. 

No comments:

Post a Comment