Friday, October 19, 2018

සමෘද්ධිලාභීන් සවිබල ගන්වන්න කඩිනමින් රුපියල් ලක්ෂ 5 සිට ලක්ෂ 25 දක්වා ණය


  සමෘද්ධිලාභීන් සවිබල ගන්වන්න රුපියල් 25000 ක් 50000ක් දීම ප්‍රමාණවත් නැහැ. ඒ සදහා රුපියල් ලක්ෂ 5 සිට ලක්ෂ 25 දක්වා ණය ලබා දෙන්න කටයුතු කරනවා  යැයි සමාජ සවිබල ගැන්වීම් අමාත්‍ය පී.හැරිසන්  මහතා පැවසීය. 

   ඒ මහතා මෙම අදහස් පළ කළේ අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති  සමාජ සවිබලගැන්වීම් අමාත්‍යංහයේ මග පෙන්වීම මත සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක සමෘද්ධි සංවර්ධන නිලධාරීන් පුහුණු කිරීමේ වැඩසටහනෙහි නිලධාරීන් ඇගයීම හා සහතික පත්‍ර ප්‍රදානයට එක් වෙමිනි.

   මෙහිදී තවදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,  27000 ක්වු උගත් අත්දැකීම් වලින් පිරි සමෘද්ධි නිලධාරීන්ගෙන්  අපි මෙතෙක් ගත් ප්‍රයෝජනය කුමක්ද? මේ අයත් කාර්ය මණ්ඩලයක් නඩත්තු කරන්න වසරකට රුපියල් බිලියන 12 ක් වැය කරනවා . එහෙම නම් අපිට හිතට එකගව සතුටු වෙන්න පුලුවන්ද? මේ නිලධාරීන් දේශපාලනයට යොදා ගත්තා පමණයි. දැන් අපි නිලධාරීන් හරි පාරේ අරන් යන්න කටයුතු කරනවා.

    එක් ග්‍රාමසේවා වසමකින් දක්ෂ ව්‍යවසායකයන් 10 ක් බිහි කරන්න අවශ්‍යයි. එවිට වසරකට හොද ව්‍යවසායකයන් එක් ලක්ෂ හතලිස් දහසක් පනස් දහසක්  හදන්න පුලුවන් .මේ සදහා පළමුවෙන්ම සමෘද්ධි නිලධාරියා සවිබල ගන්වන්න අවශ්‍යයි. සමෘද්ධි නිලධාරියාට  ව්‍යාපාති වාර්තාවක් හදන්න , සමෘද්ධිලාභියාව ව්‍යාපාරයට යොමු කරන්නේ කොහොමද ඒ  ව්‍යාපාරිකයාගේ නිෂ්පාදන වෙළදපොලට ගෙන යන මාර්ගය වැනි කරුණු පිළිබද  හොද දැනුමක් තිබිය යුතුයි. මේ දැනුම සමෘද්ධි නිලධාරියාට ලබා දෙන්න වැඩ පිළිවෙල සකස් කර තිබෙන බවත් එය අනුරාධපුරෙන් ආරම්භ කළ බවත් පැවසීය.

    මට අවශ්‍ය සමෘද්ධිලාභියා මට සහනාධාරය එපා වෙනත් දිළිදු අයෙකුට දෙන්න කියල සමෘද්ධි නිලධාරියාට ගෙනත් දෙන තැනට ගේන්න. ඒ තමයි මගේ ජයග්‍රහනය. මේ සදහා මුදල් ප්‍රතිපාදන අපි හොයා ගෙන අවශ්‍ය වැඩමුලු හා පුහුණු කිරීමේ පටිපාටියක් අපි හදා ගෙන යනවා.  සමෘද්ධි සහනාධාර ලබා දීමේ 3 වන වැඩ සටහන ලබන මස අනුරාධපුරයේදී පැවැත්වීමට අවශ්‍ය කටයුතු යොදා තිබෙනවා.     
        
    එහෙනම් මේකෙන් ගොඩ එන්න මම දැකපු ක්‍රමය තමයි සමෘද්ධි පවුල්වල එක්කෙනෙකුට හරි උගන්වන එක. එක දරුවකු හරි ඉස්සරහට ගෙනියන මාර්ගයක් ඇති කලොත් ඒ පවුල ගොඩ දානව අනිවාර්යයයෙන්ම . ඒ සදහා තමයි සමෘද්ධි සිප් දොර ශිෂ්‍යත්වය ඇති කළේ.  10000 කුව තිබු ශිෂ්‍යත්ව ප්‍රමාණය මේ වසරේ සිට 15000 ක් කළා ලබන වසරේ 20000 ක් කරන්න බලාපොරොත්තු වෙනවා.  නොවැම්බර් මාසයේ  ලංකාව පුරා එකම දවසක මේ  ශිෂ්‍යත්ව ලබා දෙන්න සැලසුම් කර තිබෙන බවත් අමාත්‍යවරයා මෙහිදී තවදුරටත් පැවසීය. ලබන අප්‍රේල් මාසය වන විට ලක්ෂ 8 ක් සදහා නව සමෘද්ධි ප්‍රතිලාභී හිමිකම් ලබා දෙන බව හෙතෙම වැඩි දුරටත් සදහන්  කළේය.

    මෙම අවස්ථාවට අමාත්‍යංශයේ ලේකම් ශිරානි වීරක්කොඩ්, අතිරේක ලේකම් සමන් උඩවත්ත , සමාජ ආරක්ෂණ මණ්ඩලයේ සභාපති සෝමචන්ද්‍ර ජයකොඩි, අතිරේක ලේකම් සරත් රෑපසිංහ ,අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ඩබ්.එම් වන්නිනායක යන මහත්ම මහත්මීන් ඇතුළු සමෘද්ධි නිලධාරීන් එක්ව සිටියහ.

No comments:

Post a Comment