Wednesday, May 17, 2017

2018 වන විට ලංකාවේ වනගහනය 32% ක් දක්වා වර්ධනය කිරීම උදෙසා
සමෘද්ධි හරිත උයන වැඩසටහන ආරම්භ කෙරේ........
      “අනාගතය උදෙසා වර්තමානය ” සූදානම් කිරීම මිනිසුන් ලෙස අප කාගෙත් වගකීම බව සියළු රට වැසියන්ට අවබෝධ විය යුතු කාලය මේ බව අමුතුවෙන් කිවයුතු නොවේ. මන්ද අවැසි ප්‍රමාණයටත් වඩා මේ වන විට සොබාදහම මිනිසුන්ට දඬුවම් දී ඇති බැවිනි. එනිසාම රටට ආදරය කරන අප සියළු දෙනාම  අනාගත පරපුරට නිවහල් නිදහස් රටක් උරුම කරලීමට වගකීම් සහගතව ක්‍රියා කළ යුතු වන්නෙමු.
         මිනිසාගේ අනේකවිධ අවශ්‍යතා හමුවේ පරිසරයේ බොහෝ දේ ඉවක් බවක් නොබලාම විනාශ කිරීමට බොහෝ දෙනා පුරුදු වී ඇත. එහි ප්‍රතිවිපාක විදින්නට සිදු වන්නේ හෙට උපදින දරුවන්ටය. එනිසාම පිරිසිදුව හුස්ම ගැනීමට නිරෝගී පරිසරයක් ගොඩනැගීම අද යුගයේ වගකීම වන්නෙමු.
          එනිසාම දිනෙන් දින මිය යන වනගහනයට ජීවයක් සපයමින් දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් “සමෘද්ධි හරිත උයන් ” නිර්මාණය කිරීමට සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත. මේ යටතේ ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 19 පුරාම හරිත උයන රැසක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.
        මෙහිදී මෙම ව්‍යාපෘති ආරම්භ කිරීම සදහා එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක් වෙත රු.60000/ = මුදලක් ලබා දෙන අතර වෙන් කර ඇති මුළු මුදල රු.එක්ලක්ෂ දාහතර දහසකි. දැනට සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකින්ම සුදුසු ස්ථාන හදුනා ගෙන ඇති අතර ව්‍යාපෘති ආරම්භ කිරීම සඳහා මූලික කටයුතු මේ  වන විට  සිදු කරමින් පවතී. 
         2018 වර්ෂය වන විට ශ්‍රී ලංකාවේ වනගහනය 32% ක්  දක්වා වර්ධනය කරමින් අනාගත පරපුරට නිරෝගී පරිසරයක් දායාද කිරීමේ මෙම වැඩසටහන ගාල්ල දිස්ත්‍රික් සමෘද්ධි කාර්යාලය හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඒකාබද්ධව ක්‍රියාත්මක කරන අතර සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල් නීල් බණ්ඩාර හපුහින්න මහතාගේ උපදේශකත්වය මත ක්‍රියාවට නංවනු ලබයි.

ප්‍රියන්ත කුමාර කාරියවසම්.
දිස්ත්‍රික් සන්නිවේදක - ගාල්ල

No comments:

Post a Comment