Tuesday, July 11, 2017

තරුණයින් රැකියා ගත කිරීමේ සුවිශේෂි වැඩසටහනක් ගාල්ල දිස්ත්‍රික්කයෙන් ඇරඹේ ........


                                 
    එක් අවුරුද්දක පාසල් අධ්‍යාපනයට ප්‍රවේශ වන ලංකාවේ දරුවන්ගෙන් උසස් අධ්‍යාපනයට නොඑසේනම් විශ්ව විද්‍යාල අධ්‍යාපනයට පිවිසෙන්නේ ඉතා අතලොස්සකි.ප්‍රතිශතයක් විදියට එය 5% - 7% අතර අගයක් ගනු ලබයි. මෙසේ උසස් අධ්‍යාපනයෙන් බැහැර වන පාසල් අධ්‍යාපනයට සමුදෙන අති විශාල තරුණ තරුණියන් පිරිසක් රැකියා බලාපොරොත්තු වෙන් සමාජ ගතවීම වසරින් වසරම රටක් මුහුණ දෙන බරපතල ගැටළුවක්ව ඇත.

   මෙම ගැටළුවට විසඳුමක් ලෙස නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශය ලෝක බැංකු සහ ආසියානු සංවර්ධන බැංකු අනුග්‍රාහකත්වයෙන් MAGA ඉංජිනියරින් පුද්ගලික සමාගම සමඟ එක්ව තරුණ තරුණියන් රැකියාගත කිරීමේ විශේෂ වැඩසටහනක් ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආරම්භ කිරීමට සැලසුම් කර ඇත. මෙහි   විශේෂත්වය වන්නේ පුහුණු වන මාස 07 ක කාල සීමාව සඳහා ද රු.25000/= වැඩි වැටුපක් ලබා දෙන අතර පුහුණුව අවසානයේ එම ආයතනයේම ස්ථිර රැකියාවකට බඳවා ගනු ලැබීමයි. එසේම පුහුණුව අවසානයේ ජාත්‍යන්තරව පිළිගැනීමට ලක් වන NVQ සහතිකයක් ද පිරිනමනු ලැබේ.

    පුහුණුවන කාල සීමාව තුළ නොමිලේ නවාතැන් පහසුකම් ලබා දෙන අතර ඉතා සහනදායි මිළට ආහාරපාන ලබා ගැනීමට ද අවකාශ සලසා ඇත. මෙම වැඩසටහනට එක් විය හැකි වයස් සීමාව අවු.18.- 50 දක්වා වන අතර විවාහක අවිවාහක පිරිමි අයවළුන් පුහුණු වැඩ සටහන සඳහා වහාම බඳවා ගැනීමට කටයුතු කරනු ලැබේ.

    මෙම වැඩසටහන පිළිබඳව ගාල්ල දිස්ත්‍රික්කයේ සමෘද්ධි කළමනාකරුවන්  දැනුම්වත් කිරීමේ  විශේෂ වැඩසටහනක් අද දින ගාල්ල කඩවත්සතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවති අතර නිපුණතා සංවර්ධන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් චන්‍ද්‍රා විකුමසිංහ මහත්මිය ඇතූළු MAGA ආයතනයේ ව්‍යාපෘතිභාර නිලධාරීන් විසින් එහිදී දැන්වත් කිරීම් සිදු කරන ලදි. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අතිරේක ලේකම් තුමිය ඉදිරියේදී රැකියා අභිමුඛ පාඨමාලාවන් ඉඳිකිරීම් ක්ෂේත්‍රයට අමතරව නිෂ්පාදන ක්ෂේත්‍රය, සංචාරක ක්ෂේත්‍රය සහ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය ආවරණය කරමින් ආරම්භ කිරීමට සිය අමාත්‍යාංශය හරහා කටයුතු කරමින් පසුවන බවත් පැවසුවාය.

    වැඩසටහන අවසානයේ  සමෘද්ධි දිස්ත්‍රික් අධ්‍යක්ෂිකා දිශ්නා විතානගේ මහත්මිය , ගාල්ල දිස්ත්‍රික්කය තුළ රැකියා අපේක්ෂිත තරුණ තරුණියන්ගේ පවස නිවන්නට මෙය අනගි අවස්ථාවක් කොට ගන්නා බවත් කොට්ඨාස මට්ටමේ ක්ෂේත්‍ර නිලධාරීන් හරහා සන්නිවේදනය කරමින් අවශ්‍ය පිරිසට සේවාවක් සැලසිමට කටයතු කරන බවත් පැවසුවාය. මෙම පුහුණු වැඩසටහන ඉදිරි අගෝස්තු මාසයේදී ආරම්භ කිරීමට නියමිත අතර ඒ සදහා යොමු වීමට බලාපොරොත්තුවන අයට ඔබ අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිපුණතා සංවර්ධන නිලධාරී, මානව සම්පත් නිලධාරී හෝ සමෘද්ධි නිලධාරී හමුවීමෙන් ලියා පදිංචිය සඳහා කඩිනමින් යොමු විය හැකි වේ.

ප්‍රියන්ත කුමාර  කාරියවසම්
දිස්ත්‍රික් සන්නිවේදක
ගාල්ල

No comments:

Post a Comment