Wednesday, August 2, 2017

සති අන්ත නිවාඩුවත් රාජකාරියට යොදවා දිළිදු පවුලකට සෙවනක් ලබාදෙන සමෘද්ධි නිලධාරීන්


    මැදිරිගිරිය දියසෙන්පුර කලාපයේ 110 දම්සෝපුර වසමේ අංක 1/27 ඉඩමේ පදිංචි ආර්.එම්. ජයසිංහ සමෘද්ධි සහනාධාරයවත් නොලබන අන්ත අසරණ පවුලකි. දරුවන් තිදෙනෙකුත් බිරිදත් ස්වාමියාගේ මවත් ඉතා සෙනෙහසින් මෙම නිවසේ කාලය ගෙවන්නේ ජයරත්න මහතා දෛණිකව උපයන කුලී ආදායමෙනි. දිළින්දන් සොයා යන තම රාජකාරියේදී වසමේ රාජකාරියේ නියුතු කමලා වීරසේකර මහත්මියට මෙම පවුල පිළිබදව දැනගන්නට ලැබුණි. එවක සේවයකල සමෘද්ධි කළමණාකරු ඩි.ජි. විමලරත්න දැල්පිටිය මහතා සමග සහ හිතවත් සමෘද්ධි නිළධාරීන් සමග මේ පවුල පිළිබදව හඩ අවධිකලේ කලාප කාර්යාලීය රැස්වීමේ අතරතුරදීය.

   සියළු තොරතුරු සටහන් කරගත් දැල්පිටිය මහතා තම සහෝදර නිලධාරීන් සමග මෙම ගෘහය පරීක්ෂාකර බැලුවේ තමාගෙන් සමාජයට ඉටුවිය යුතු සමාජ සත්කාරයක් ඉතුරුවී ඇත්දැයි පසක්කරමිනි. පරික්ෂාවෙන් අනතුරුව මහ සංගම් අධ්‍යක්ෂක සුගත් තුමාර මහතා දුරකථනයෙන් අමතා මේ පුවත සැලකර නව නිවසක් ඉදිකිරීමට සමාජ සංවර්ධන පදනම හා සම්බන්ද වුණි. ඒ අනුව රු.50000/=ක් සමාජ සංවර්ධන පදනමෙන් ලබාගෙන වැඩ ආරම්භ කරගෙන යෑමේදී පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සිරිපාල ගම්ලත් මැතිතුමා තම පුද්ගලික ධන පරිත්‍යාගයෙන් රු.50000/=ක්ද ලබාදී ඇත්තේ මෙම පවුලේ හෙට ලොව දකින දරුවන් තිදෙනෙකුද සිටින බැවිනි.



    2017 සියළු නිලධාරීන් ස්ථාන මාරුවීම්ද ගැටළුවක් නොවූ මෙම කලාපයට නව කළමණාකරු වශයෙන් මිල්ටන් රාජපක්ෂ මහතාටද මෙම නිවසේ ඉදිකිරීම් සදහා දායකත්වය ලබා දීමට ලැබීම මහගු පුන්‍යකර්මයක් බවත්, සියළු සමෘද්ධි නිලධාරීන් නොපැකිළිව මේ සදහා දායකත්වය ලබාදුන් බවත්, සමෘද්ධි නිලධාරීන්ගේ පුද්ගලික පරිත්‍යාග රු.50000/=ක්,සහ සති අන්ත ශ්‍රම දින 30ක් ද, වෙනත් පරිත්‍යාග රු.50000/=ක් සහ මැදිරිගිරිය පොලිස් ස්ථානාධිපති තුමා සහ කාර්ය මණ්ඩලය, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ මැදිරිගිරිය නිලධාරීන්, ළමා ප්‍රවර්ධන නිලධාරී, සමෘද්ධි සමාජ සංවර්ධන නිලධාරී මහත්ම මහත්මීන් ඉතාමත් සතුටින් සහයෝගය ලබාදුන් බවත් එතුමා සදහන් කරන ලදි.

ඩි.එම්.පි.කේ. දිසානායක
සමෘද්ධි ගමන දිස්ත්‍රික් සංනිවේදක
පොළොන්නරුව

No comments:

Post a Comment