Thursday, May 24, 2018

සමෘද්ධියේ ගැටළු හිගන්නාගේ තුවාලය වගේ ඇදගෙන යන්න මම ඉඩ තියන්නේ නෑ


  බුදු හාමුදුරුවන්ගේ කාළයේ ළඟම සිටි මස්සිනා දෙවුදත් හරහට හිටියා.  ඒ වගේ මොනම කැපිල්ලක්, කෙටිල්ලක් ආවත් සමෘද්ධි නිලධාරියාට විශ්‍රාම වැටුප ලබා දෙන කාර්යය මෙන්ම, දුගී දුප්පත් පවුල් ලක්ෂ දෙකක පිරිසකට අළුතින් සමෘද්ධි සහනාධාරය ලබා දීමටත්, දුක් විඳින නැතිබැරි කමින් පෙළෙන ජනතාව වෙනුවෙන් කැප වී සේවය කිරීමටත්, තමන් නොපැකිලව පෙනී සිටින බව සමාජ සවිබල ගැන්වීම් අමාත්‍ය පී.හැරිසන් මහතා පවසයි.

   අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ දිවිනැගුම ඒකාබද්ධ වෘත්තීය සංගමය සමගින් අමාත්‍යාංශයේදී පසුගියදා (22) පැවති සාකච්ඡාවකදීය. වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ හා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ නිලධාරීන් හා එක්ව සමස්ථ සමෘද්ධි නිලධාරීන් නියමිත වැටුප්තලයක තබමින් විශ්‍රාම වැටුප ලබා දීමට කටයුතු කරන බවයි. සමෘද්ධි නිලධාරීන්ගේ ගැටළු හිඟන්නාගේ තුවාලය වාගේ ඇදගෙන නොයන බවත්, මින් කිසිඳු දේශපාලන වාසියක් ලබා ගැනීමට තමන් හට කිසිඳු අවශ්‍යතාවයක් නොමැති බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

   ඇතැම් අය සමෘද්ධි නිලධාරීන් දේශපාලනයට ඈඳා ගැනීමෙන් සමෘද්ධි නිලධාරියාට ගම තුළ දේශපාලන ලේබලයක් ඇලවී ඇති බවත්, ඒ තුළින් එම නිලධාරීන්ගේ වෘතිය ගරුත්වයට හානි සිදුවී ඇති බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසීය. සමෘද්ධි නිලධාරීන්ට මැතිවරණය තුළ අපේක්ෂකත්වය ලබා නොදීමට හේතුවක් වූයේ ද, දේශපාලන කෝණයෙන් ඇතැම් පිරිස් සමෘද්ධි නිලධාරියා දෙස බැලීම යැයිද දේශපාලඥයින් සමෘද්ධි නිලධාරියා බලලුන් ලවා කොස්ඇට බාවා ගැනීම වැනිදේට 
යොදාගෙන ඇති බවද කීය. 

  සමෘද්ධි නිලධාරියා නිර්පාක්ෂික කිරීම තමාගේ අවශ්‍යතාවය බව පැවසූ අමාත්‍යවරයා, සමෘද්ධි නිලධාරියාට හිමිවිය යුතු නිසි ගරුත්වය, පිළිගැනීම ලබා දීම තම ඒකායන අරමුණ යැයිද පැවසීය.

No comments:

Post a Comment