Sunday, May 21, 2017

හොඳම දේ දරුවන්ට....
සමෘද්ධි කැකුළු ළමා සමාජ සාහිත්‍ය හා සංස්කෘතික තරඟාවලිය මෙවරත්
        වනයේ පිපෙන මලක් වනය පමණක් සුවදවත් කර රහසේම පරව යානොදී දසත සුවඳ විහිදුවන මලක්  බවට පත් කළ හැකිනම් කෙතරම් අගනේද? එවන් වූ සහජ හැකියාවන්, කසලතාවයන් සොයා යමින් එම හැකියාවන් කුසලතාවයන් තුළින් රටක් ජය ගන්නට තරම් අවස්ථාවක් සලසා දිය හැකි නම් එය තවත් කෙතරම් අගනේද?
    
       එවැනි උත්සාහයකට මෙවරත් ඔබට අවස්ථාවක් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ සමාජ සංවර්ධන හා පරිසර අංශය විසින් සලසා දී ඇත. 2017 සමෘද්ධි කැකුළු සාහිත්‍ය හා සංස්කෘතික තරඟාවලිය පෙර වර්ෂවලදී මෙන්ම වයස් කාණ්ඩ 3 ක් යටතේ තරඟ ඉසව් 14 ක් ඔස්සේ සිංහල හා දෙමළ මාධ්‍යය දෙකෙන් පැවැත්වීමට තීරණය කර ඇත.

        සමෘද්ධි  කැකුළු ළමා සමාජවල සාමාජිකත්වය ඇති , සමෘද්ධි බැංකුවේ කැකුළු හෝ සිසුරක ගිණුමක් සහිත වයස අවු.7 සිට 18 දක්වා වන වයස් සහිත දුවා දරුවන්ට මේ සඳහා ඉදිරිපත් විය හැකිය.එසේම දැනටමත් ඔබ ළමා සමාජයක සාමාජිකයකු නොවේ නම් තරඟ පැවැත්වෙන කාලයට පෙර බැංකුවේ ළමා ගිණුමක් විවෘත කර ළමා සමාජයේ සාමාජිකත්වය ලබා ගැනීමෙන් මේ සඳහා ඉදිරිපත් වීමට අවකාශ සලසා ගත හැකිය.

       චිත්‍ර , නැටුම් ,ජන නැටුම්, සරල ගී, ශාස්ත්‍රීය ගායනා, ජන ගායනා, කථික , නිවේදක , ළමා කතන්දර ලිවිම , කෙටි නාට්‍ය , ගද්‍ය රචනා මෙන්ම  පද්‍ය රචනා වැනි තරඟ ඉසව් සඳහා ඉදිරිපත් වීමේ හැකියාව ඇති අතර වයස 7 -10, 11-14 සහ 15-18 යන වයස් කාණ්ඩ තුනට අනුව වෙන වෙනම තරඟ ඉසව් පවත්වනු ලැබේ.

       මෙවර සමෘද්ධි බැංකු (කලාප ) මට්ටමේ තරඟ 2017.06.15 දිනට පෙරත්  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමෙන් පැවැත්වෙන ප්‍රාදේශීය තරඟ 2017 ජූලි 30 දිනට පෙරත් පැවැත්වීමට සැලසුම් කර ඇත.

      සමෘද්ධි කැකුළු ළමා සමාජයේ සාමාජිකත්වය ලබා ගැනීමට ප්‍රදේශයේ ඕනෑම දරුවෙකුට අවස්ථාව සලසා දී ඇති බැවින් මේ පිළිබඳ වැඩිදුර විස්තර ඔබට, ඔබ ප්‍රදේශයේ සමෘද්ධි බැංකු කළමනාකරුගෙන් හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමෘද්ධි සමාජ සංවර්ධන සහකාර නිලධාරී හමුවීමෙන් ලබා ගත හැකි වේ.

ප්‍රියන්ත කුමාර කාරියවසම්.
දිස්ත්‍රික් සන්නිවේදක - ගාල්ල

No comments:

Post a Comment