Sunday, March 11, 2018

ආර්ථික අපහසුතා ඇති දරුවන් 28 දෙනෙකුට සෙනෙහසේ දෑත් දිගුවෙයි ........

  “නාගතය උදෙසා වර්තමානය ” සූදානම් කිරීම මිනිසුන් ලෙස අප කාගෙත් වගකීම බව සියළු රට වැසියන්ට අවබෝධ විය යුතු කාලය මේ බව අමුතුවෙන් කිවයුතු නොවේ. එහෙත්  අපට  උපන් ගමන් දරුවන් මහ මඟ දමා යන සිදුවීම් ද නිරතුරුව අසන්නට  දකින්නට  ලැබේ. එවන් කාල වකවානුවක තමන් කුසින් බිහි නොකළ දරුවන්ට මවක පියකු ලෙස සළකන්නට ඉදිරිපත් වන අම්මලා තාත්තලා ද නැතුව නොවේ.

   එවැනි අවස්ථාවක් පසු ගිය දා බද්දේගම අදුරත්විල සමෘද්ධි ප්‍රජා මූල බැංකු පරිශ්‍රයේදී දැක ගන්නට ලැබුණි. ඉගෙන ගැනීමට හපන්කම් තිබුණත් ආර්ථික අපහසුතාවන් බාධාවක් වීම හේතුවෙන් අසරණ වූ දරුවන් 28 දෙනෙකුට වර්ෂයක් පුරාවට මාසිකව ශිෂ්‍යත්ව ලබා දීමේ සමාරම්භය පසුගිය 09 වන දා දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ දිශ්නා විතානගේ මැතිනියගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි.

   මෙහිදී ප්‍රදේශයේ  පරිත්‍යාගශීලි වැඩිහිටියන් 18 දෙනෙකු විසින් මෙම එක් දරුවකු වෙනුවෙන් රු.6000/= බැගින් සිසු දිරිය ශිෂ්‍යත්ව අරමුදල සඳහා ලබා දී තිබුණි. පරිත්‍යාගශීලීන් අතර වෙද්‍යවරුන් , ව්‍යාපාරිකයින් , ඉඩම් හිමි වැවිලිකරවන් මෙන්ම විශ්‍රාමලත් ගුරු භවතුන් ද දක්නට ලැබුණි. එම පරිත්‍යාගශීලින් අතින්ම තෝරාගත් දරු දැරියන් සඳහා ශිෂ්‍යත්ව පිරිනැමීම සිදු කෙරුණු අතර පරිත්‍යාගශීලීන් සඳහා ද සිහිවටන සහතිකපත් ලබා දීම මෙහිදී සිදු කෙරුණි.

    මෙම අවස්ථාවට බද්දේගම සහකාර ප්‍රාදේශීය ලේකම් , දිස්ත්‍රික් සමාජ සංවර්ධන කළමනාකරු , ප්‍රජා මූල බැංකු සමිති කළමනාකරු, අදුරත්විල සමෘද්ධි බැංකු කළමනාකරු, බද්දේගම සමාජ සංවර්ධන සහකාර ඇතුළු සියළුම ක්ෂේත්‍ර සංවර්ධන නිලධාරීන් ද සහභාගී වී සිටින ලදි.

ප්‍රියන්ත කුමාර කාරියවසම්
ගාල්ල දිස්ත්‍රික් සන්නිවේදක

No comments:

Post a Comment