Monday, April 2, 2018

සමුදුන් දාහතේ ප්‍රගතිය ඇගයීම


 මැදිරිගිරිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ 2017 වර්ෂයේ සමෘද්ධි වැඩසටහන් ප්‍රගති සමාලෝචනය පසුගියදා මුලස්ථාන කළමණාකරු එස්.එම්. දුරුතු කුමාරි මහත්මියගේ ප්‍රධානත්වයෙන්  ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී සිදුකෙරිණ.

  මෙම අවස්ථාවට බැංකු සමිති කළමණාකැරු සුගත් කුමාර මහතා, දියසෙන්පුර හා මණ්ඩලගිරිය සමෘද්ධි කළමණාකරුවන් වන මිල්ටන් රාපක්ෂ මහතා සහ තිලකා කුමාරි මහත්මිය ඇතුළු කේෂ්ත්‍ර සමෘද්ධි නිළධාරී මහත්ම මහත්මීන් සහභාගී වන ලදි. 

   2017 වර්ෂයේ පොළොන්නරුව පොසොන් පෙරහැර සදහා සුවිශේෂී දායකත්වයක් ලබාදුන් සමෘද්ධි නිළධාරීන් ඇගයීමටද ලක් කල අතර, 2017 වර්ෂයේ මැදිරිගිරිය කොට්ඨාශයේ සමෘද්ධි බැංකු සමිති ලැබීම් වශයෙන් රුපියල් 3344230/=ක මුදලක් වේදේහපුර වසමේ සේවය කරන සමෘද්ධී නිලධාරී ආර්.ඩි.එන්. රාජමුණි මහතා මණ්ඩලගිරිය කලාපයෙන්ද, දියසෙන්පුර කලාපයෙන් නිලන්ති ධම්මිකා මහත්මිය රුපියල් 1208413/= ක මුදලක්ද, දියසෙන්පුර කලාපයෙන් සුමිත් ප්‍රියශාන්ත මහතා 1151220/=ක මුදලක්ද වශයෙන් රැගෙන ඒම ප්‍රශංසනීය බව මූලස්ථාන කලමණාකරු මහත්මිය දැනුවත්කල අතර, පොළොන්නරුව සමෘද්ධි බැංකු 22න් මෙවර 4 වෙනි ස්ථානය මණ්ඩලගිරිය බැංකුවත්, 7 වෙනි ස්ථානය හා 10 වෙනි ස්ථානය දිවුලන්කඩවල හා දියසෙන්පුර සමෘද්ධී බැංකු හිමිකර ගැනිමද ඇගයීමට ලක් කරන ලදි. මෙම ජයග්‍රහණය කේෂ්ත්‍ර සමෘද්ධි නිලධාරීන්ගේ උනන්දුව උත්සාහය හා කැපවීමේ ප්‍රතිඵලයක ඵලයක් බවත් මූලස්ථාන කළමණාකාර මහත්මිය වැඩිදුරටත් සදහන් කරන ලදි.

වජිරා දිසානායක
සමෘද්ධි ගමන සංනිවේදක
මැදිරිගිරිය

වැව් කොමළියට පෙම්බැදි මොරගහකන්ද.............

   ඩ සෝදාගත් කල රජකමටත් සුදුසුයැයි විරුදාවලිය ලත් ගොවියා කලක පටන් තම බත් වේල සොයා ගත්තේද අනේක දුක් කම්කටොළු මැද්දේය. රටට බත සපයන මැදිරිගිරිය ගොවිජනතාව දැනට කන්න 03කම තම කුබුරු යායවල් වල් බිහිවෙන්නට ඇරියේ තම පපුවේ දුක් ගිනි කන්දරාවක් නොදරා නොවේ. අකාරුණික වූ සොබාදහම වැව් පොකුණු වල රදවාගෙන තිබූ ජලස්කන්ධය තම උඩු ගුවනට ලබාගත්තා මිස නැවත මහ පොළවට පතිත නොකිරීමේ හේතුවෙන් මහ පොළව හා ගැටුණු ගොවි ජන හදවත් තුල අනේකවූ බලාපොරොත්තු වලලා දමමිනි.මෙමගින් පීඩාවට පත්වූයේ ගොවියන් පමණක් නොවන අතර එම ගොවි බිම් වල කුලියට ගිය අඩු ආධායම්ලාභින්ද අසරණ තත්වයට පත්ව ප්‍රදේශයෙන් පිටව කොළොම්පුරේ කුලියට ගියේ තම අඹු දරුවන්ද නිවසේ තනි කර දමමිනි. 

   හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සුරතින් මුල්ගල තබා වර්තමාන ජනපති මෛත්‍රිපාල මැතිදුන්ගේ රජරට නිල් දියවරින් පෝෂණය කිරිමේ විශාලතම ජලාශ සංකීර්ණයේ සිහිනය යථාර්තයක් කරමින් කඩිනමින් නිමකල මොරගහ කන්ද ජලාශයේ නිල්වන් ජල දහරාව තමාට බාධක වනගැහැබ්, කදුහෙල්, ගල් පර්වත, පසු කරමින් කවුඩුළු වැව් කුමරිය සිපගන්නේ මැදිරිගිරිය ගොවි ජන හදවත් උද්ධාමවත් කරමින් සතුටු සයුරේ ගිල්වමිනි. 

   හිටපු පලාත් කෘෂිකර්ම අමාත්‍ය සම්පත් ශ්‍රී නිලන්ත මහතා හිටපු ප්‍රාදේශිය සභා සභාපති පත්මසිරි හේමචන්ද්‍ර මහතා සමග ප්‍රාදේශිය සභා මන්ත්‍රි වික්‍රමසිංහ මහතා මේ පිළිබදව සොයා බැලිමට සහභාගී වූ අතර අප්‍රේල් මාසයේදී තම කුඹුරු ගොවිතැන් සදහා මොරගහ කන්ද කුමරුගේ නිල්වන් දිය දහරාව කවුඩුළු වැව් කුමරිය මුදාහරී යැයි සමස්ථ ජනතාව ඇගිලි ගනිමින් සිටිති. 

ඩි.එම්.පි.කේ. දිසානායක
සමෘද්ධි ගමන දිස්ත්‍රික් සංනිවේදක
පොළොන්නරුව

පසු විපරමින් ඉදිරි ඉලක්කයන් කරා........


  මුළුතැන්ගෙයින් ඇරඹුණු ඉතිරි කිරිමේ පුරුද්ද සමෘද්ධි බැංකුවේ දිරිය මාතා ගිණුමක් තුල ගොඩ ගැසෙන්නට , ප්‍රතිලාභියා තුල සැගවුණු හැකියාව සාර්ථක ව්‍යාපාරයක් වෙලා කිරි ඉතිරෙන්නට සමෘද්ධි සංවර්ධන නිලධාරින් ප්‍රමුඛ සමෘද්ධි බැංකුව තුල සිදු වු විශාල කාර්යය භාරය තැන්පතු වර්ධනය , සංවර්ධන වැඩසටහන්, ණය යෝජනා ක්‍රම සමග මුසුවුනු සමෘද්ධි සංවර්ධන නිලධාරින්ගේ දහඩිය කදුළු මුසු වු යටගියාව පිලිබදව ආපසු හැරී බලන්නට 2018 මාර්තු මස 15 වන දින දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂක තුමාගේ ප්‍රධානත්වයෙන් දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ශ්‍රවණාගාරයේදී  2017 ප්‍රගති සමාලෝචන රැස්වීම පවත්වන ලදි.

   දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ දිඹුලාගල, සිරිපුර , වෙහෙරගල, විජයබාපුර, නුවරගල යන කලාප පහේම සමෘද්ධි සංවර්ධන නිලධාරින්ගේ උත්සාහය කැපවීම මෙන්ම ඔවුන්ගේ දුර්වලතාද මෙහිදි සාකච්ඡා කෙරිණි.

   2017 වසර අවසන් වන විට ඉහල තැන්පතු ප්‍රමාණයකට හිමිකම් කීමට නුවරගල සමෘද්ධි ප්‍රජා මූල බැංකුව සමත් වී තිබේ. එය අනිවාර්ය්‍ය ඉතිරි කිරීම් ද සමගින් රුපියල් කෝටි නවයක් පමණ වේ. එමෙන්ම පාඩු ලබන සමහර සමෘද්ධි බැංකු අතරින් වෙහෙරගල සමෘද්ධි බැංකුව ලාභ ලබන බැංකුවක් බවට පත් වී ඇත. තවද රුලියල් කෝටි තිස් තුනක තැන්පතු ප්‍රමණයකට හිමිකම් කීමට දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය සමත් වී තිබූ අතර ක්‍රියාශීලි සමෘද්ධි සංවර්ධන නිලධාරින් අතර කැපී පෙනෙන චරිතයක් වීමට නුවරගල කලාපයේ ඒ. ජයවීර මහතා සමත්ව ඇත.

   සමෘද්ධි ව්‍යාපාරය යනු නිදා ගෙන සිටින යෝධයෙක් බව දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂක තුමා පැවසූ අතර අවස්ථා ප්‍රතිලාභ කොතෙක් ඇතත් මිනිසුන් මෙය හරි හැටි වටහාගෙන නැති බව එතුමා එයින් පැහැදිලි කරන ලදි. 2017 වසරේ ආ ගිය කතා නිමා වීමෙන් පසු අධ්‍යක්ෂක තුමා 2018 වසරට අත දිගු කලේ  සියළු දෙනා හටම නව ඉලක්කයක් පෙන්වා දෙමිනි. ක්‍රියාශිලී සමෘද්ධි නිලධාරී  ජයවිර මහතාගේ හඩ සමෘද්ධි ගමනට මුසු කරන්නට සමෘද්ධි ගමන තැත්කලද කාර්ය බහුල තත්වයට එතුමා සිටි බැවින් පසුව එතුමා සමග දොඩමළු වන්නට සමෘද්ධි ගමන මතක සටහනක් තබා ගන්නා ලදි. 

එම්.පී.ආර්. ජයවර්ධන
සමෘද්ධි ගමන සන්නිවේදක
දිඹුලාගල

කල් පසුවූ ණය කරුවන්ට උපදෙස්


  යක්කලමුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයේ පොල්පගොඩ සමෘද්ධි බැංකුවේ කල්පසු වූ ණය සොයා සාමාජිකයන්ගේ නිවෙස් කරා ගොස් මුණගැසී තොරතුරු විමසා අවශ්‍ය උපදෙස් ලබා දීමට කලමණා කාරිණී ඉන්දිකා හිමාලි මහත්මිය ඇතුලු නිලධාරීන් කටයුතු කරන ලදි .
                  
  මෙම වැඩසටහන ණය අයවීමේ ප්‍රගතියට හේතුවක් වූ බවත් සමෘද්ධි බැංකුව කෙරේ විශ්වාසය ඇති කර ගැනීමට ත් මෙය පිටුවහලක් වු බවත් සමෘද්ධි ගමන වෙත අදහස් දක්වමින් කළමණාකාරතුමිය පැවසීය.

J.l ගාමිණී
සමෘද්ධි සන්නිවේදක
යක්කලමුල්ල

සාදු ජානාරාමයට බුදු රුවක්...


  යක්කලමුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයේ 180 A බෙරනාගොඩ ළමා සාමාජ දරුවෝ උඩුවිටියන සාදු ජනාරාමයේ අඩුවක් ව පැවති බෝමළුවේ හිස්ව තිබූ මල් ආසනයට පිලිම වහන්සේ නමක් පෙරහරින් වඩමවා ගෙන විත් පූජා කිරිම පසුගිය පසලොස්වක පොහෝ දිනයේදී සිදු කෙරිනි. එම උතුම් කටයුත්ත ප්‍රදේශ වාසීන්ගේ පැසසුමටද ලක්විය.

J.l ගාමිණී
සමෘද්ධි සන්නිවේදක
යක්කලමුල්ල

2018 සමෘද්ධි ප්‍රජා සංවිධානය


  යක්කලමුල්ල සමෘද්ධි ප්‍රජා සංවිධානය නිලවරණය ග්‍රාම නිලධාරි වසම් 44ක් නියෝජනය වන පරිදි නියෝජිතයින් සහභාගි වී සිටි අතර මූලස්ථාන කලමනාකරු අනුර මහතා ව්‍යාපෘති කලමනාකාර ආනන්ද මායාකඩුව මහතා කලමනාකාර අධ්‍යක්ෂ තුෂාන්ති මහත්මිය කලාප කලමනාකරුවන් වන ඉන්දිකා ,හිමාලි, විත්‍ර , පත්මසිරි යන මහත්ම මහත්මීන් සහභාගිත්වය ඇතිව සංවර්ධන නිලධාරීන් ගේ  ද සහභාගිත්වය ඇතිව සිදුකරන ලදි.

J.l ගාමිණී
සමෘද්ධි සන්නිවේදන
යක්කලමුල්ල

මැදිරිගිරියටත් විද්‍යුත් සෞඛ්‍ය සේවාව


  තිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ සෞඛ්‍ය සේවාව නැන්වීමේ උතුම් අභිලාශය ඇතිව මැදිරිගිරිය මූලික රෝහලට විද්‍යුත් සෞඛ්‍ය සේවාව මෙම මස 30 දින සිට ආරම්භ වන බව මුලික රෝහල් වෛද්‍ය අධිකාරී වයි.එම්.එස්. යාපා මහතා මැදිරිගිරිය සුව සේවා පදනමේ සාමාජිකයින් අමතා පසුගිය 26 වෙනිදා ප්‍රකාශ  කරන ලදි.

   සුවසේවා පදනමේ සාමාජිකයින් විද්‍යුත් සෞඛ්‍ය සේවාව පිළිදව වැඩිදුරටත් විමසීමේදී වෛද්‍ය අධිකාරී මහතා කියා සිටියේ......... අද ලෝකය පරිඝණක හා සම්බන්ධව අන්තර් ජාලයෙන් හසුරුවන බවත්, විද්‍යුත් සෞඛ්‍ය සේවාවෙන් සිදුවන්නේ පදිංචි සියළු පුරවැසියන්ගේ දත්තයන් පරිඝණක භාවිතයෙන් අන්තර් ජාලයට ඇතුළුකර එම අයට රහස් අංකයක් නිකුත් කරන බවයි.මේ සදහා නම, ගම, ,ලිපිනය, උපන් දිනය, ජාතික හැදුනුම්පත් අංකය, ලබා ගෙන එම අය ලියාපදිංචි කිරීම පලමු අදියර බවත්, ලියාපදිංචි කරන ලද පුද්ගලයින්ට ලබාදෙන රහස් අංකය එම පුද්ගලයින් වෛද්‍ය සේවාවන් ලබා ගැනීම සදහා පැමිණිමේදී  රැගෙන ආයුතු බවත්, මෙම අංකය ලෝකයේ ඕනෑම රෝහලකින් සේවා ලබාගැනීම සදහා ඉතා උපකාරීවන හා වලංගු බවත්ය. රෝගීන් පමණක් නොව නිරෝගී අයද මෙම ලියාපදිංචිය කරන අතර උදාහරණයක් ලෙස පවුලේ සියළුම දෙනා ලියාපදිංචි කරන බවයි.

   රෝගියෙකු ලියාපදිංචි වන්නේනම් රෝගියාගේ සියළු රෝගී තත්වයන් හා ඒ සදහා ලබා ගන්නාලද ඖෂධ වර්ග පවා ඒ තුල ගබඩා වී ඇති බැවින් නැවත රෝගීවී වෛද්‍ය ප්‍රතිකාර ගැනීමේදී මෙම තොරතුරු උපකාරී වීම නැවත ප්‍රතිකාර සදහා මහත් රුකුලක් බවත් වෛද්‍ය අධිකාරී වයි.එම්.එස්. යාපා මහතා වැඩිදුරටත් ප්‍රකාශකරන ලදි. 

   මෙම අවස්ථාව මැදිරිගිරියට සුවිශේෂී අවස්ථාවක් බැවින් සියළුම දෙනා මෙම අවස්ථාවෙන් ප්‍රයෝජනය ගන්නා ලෙසත් රෝගීන් ලියාපදිංචියේදී පමණක් කෙටි කාලයක් ගතවන නිසා සිදුවන අපහසුතාවය නොතකා මේ සදහා රෝහල් කාර්ය මණ්ඩලයට සහයෝගය ලබාදෙන ලෙසද සියළුම දෙනාගෙන් සුවසේවා පදනම කාරුණිකව ඉල්ලීමක්ද කරන ලදි. 

ඩි.එම්.පි.කේ. දිසානායක
සමෘද්ධි ගමන දිස්ත්‍රික් සංනිවේදක
පොළොන්නරුව